එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සේදක නම් සුම්භයන්ගේ නියම්ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. චණ්ඩාලවංශිකයෙක් සැඩොල් හුණ ගස ඔසොවා මේදකථාලික නම් අතවැසියා ඇමතුවේ ය. ‘යහළු මේදකථාලිකය, ඔබ එව. සැඩොල් හුණ ගසට නැගී මාගේ කඳ මත සිටුව’ යි. ‘එසේ ය, ආචාර්යය’ යි මහණෙනි, මේදකථාලික අතවැසියා සැඩොල්වංශිකයාට පිළිතුරු දී සැඩොල් හුණ ගසට නැගී ආචාර්යයාගේ කඳ මත සිටගත්තේ ය. එකල්හී මහණෙනි, චණ්ඩාලවංශිකයා මේදකථාලික අතවැසියාට මෙය පැවසුවේ ය. ‘යහළු මේදකථාලිකය, ඔබ මාව රකුව. මම ඔබ රකින්නෙමි. මෙසේ අපි එකිනෙකා රැකගෙන, එකිනෙකා ආරක්ෂා කරගෙන ශිල්ප ත් දක්වන්නෙමු. ලාභ ත් ලබන්නෙමු. සුව සේ සැඩොල් හුණ ගසින් ද බසින්නෙමු’ යි.
මෙසේ පැවසූ කල්හී මහණෙනි, මේදකථාලික අතවැසියා චණ්ඩාලවංශිකයාට මෙය පැවසුවේ ය. ‘ආචාර්යය, එය මෙසේ නොවන්නේ ය. ආචාර්යය, ඔබ තමා ව රකිනු මැනැව. මම මාව රකින්නෙමි. මෙසේ අපි තමා ව රකිමින් තමා ව ආරක්ෂා කරමින් ශිල්ප ත් දක්වන්නෙමු. ලාභ ත් ලබන්නෙමු. සුව සේ සැඩොල් හුණ ගසින් බසින්නෙමු’ යි.”
මේදකථාලක අතවැසියා ආචාර්යයා හට යම් සේ පැවසුවේ ද, එය එහි ඇති න්‍යාය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“මහණෙනි, ‘තමා ව රකින්නෙමි’ යි සතිපට්ඨානය සේවනය කළ යුත්තේ ය. ‘අනුන් ව රකින්නෙමි’ යි සතිපට්ඨානය සේවනය කළ යුත්තේ ය. මහණෙනි, තමා ව රකින්නේ අනුන් ව රකියි. අනුන් ව රකින්නේ තමා ව රකියි. මහණෙනි, තමා ව රකින්නේ අනුන් ව රකියි යන්න කෙසේ ද යත්, සතිපට්ඨානය සේවනය කිරීමෙන් ය, වැඩීමෙන් ය, බහුල ව කිරීමෙන් ය. මෙසේ මහණෙනි, තමා ව රකින්නේ අනුන් ව රකියි. මහණෙනි, අනුන් ව රකින්නේ තමා ව රකියි යන්න කෙසේ ද යත්, ඉවසීමෙන් ය, අවිහිංසාවෙන් ය, මෛත්‍රී චිත්තයෙන් ය, කරුණාවෙන් ය. මහණෙනි, මෙසේ අනුන් රකින්නේ තමා ව රකියි.
මහණෙනි, තමා ව රකින්නෙමි යි සතිපට්ඨානය සේවනය කළ යුත්තේ ය. අනුන් රකින්නෙමි යි සතිපට්ඨානය සේවනය කළ යුත්තේ ය. මහණෙනි, තමා ව රකින්නා අනුන් ව රකියි. අනුන් රකින්නා තමා ව රකියි.
සාදු! සාදු!! සාදු!!!
සේදක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M