එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගමෙහි රෝගී ව, දුකට පත් ව, දැඩි සේ ගිලන් ව වැඩවෙසෙති. චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කරන්නේ වෙයි. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ ආබාධයෙන් ම පිරිනිවන් පෑ සේක.
ඉක්බිති චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය ද, සිවුරු ද ගෙන සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. මේ උන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු ය.”
“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට මෙය වැදගත් කරුණකි. ආයුෂ්මත් චුන්දයෙනි, යමු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකරන්නෙමු.”
“එසේ ය, ස්වාමීනී” යි චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිතුරු දුන්නේ ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, චුන්ද සාමණේර ත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනී, මේ චුන්ද සාමණේර තෙමේ මෙසේ කියයි. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. මේ උන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු ය’ යි. ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ පිරිනිවීම අසා මාගේ ශරීරය බර වූවක් මෙන් වැටහෙයි. මට බැලිය යුතු දිශාව වත් පැහැදිලි නොවෙයි. ධර්මය ද මට නොවැටහෙයි.”
“කිම, ආනන්දයෙනි, සාරිපුත්තයෝ ඔබගේ සීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහු ද? සමාධිස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහු ද? ප්‍රඥාස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහු ද? විමුක්තිස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහු ද? විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහු ද?”
“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මාගේ සීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවන් නොපෑහ. ….(පෙ)…. විමුක්තිඥානදර්ශන ස්කන්ධය හෝ රැගෙන පිරිනිවන් නොපෑහ. එනමුදු ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සංඝයාට අවවාද කරන කෙනෙක් වූහ. කරුණු හඟවන කෙනෙක් වූහ. කරුණු දක්වන කෙනෙක් වූහ. සමාදන් කරවන කෙනෙක් වූහ. උත්සාහවත් කරවන කෙනෙක් වූහ. සතුටු කරවන කෙනෙක් වූහ. ධර්ම දේශනාවෙහිලා නොපසුබට වූහ. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරන කෙනෙක් වූහ. අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ඒ ධර්ම ඕජස, ධර්ම භෝගය, ධර්ම අනුග්‍රහය සිහි කරමු.”
“ආනන්දයෙනි, ප්‍රිය මනාප සියළු දෙයින් වෙනස් වන බව ත්, වෙන් වන බව ත්, අන්‍ය ස්වභාවයකට පත්වන බව ත් මා විසින් ඔබට කලින් ම නොපවසන ලද්දේ ද? ආනන්දයෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය. ආනන්දයෙනි, අරටුව ඇති මහා වෘක්ෂයක ඒ මහා ඇතුළු කඳක් තිබේ ද, එය නැසෙන්නේ යම් සෙයින් ද, එසෙයින් ම ආනන්දයෙනි, මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තයෝ ද පිරිනිවන් පෑහ. ආනන්දයෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය.
එහෙයින් ආනන්දයෙනි, තමා පිහිට කොට වාසය කරව්. තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට වාසය කරව්. ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරව්. ආනන්දයෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
ආනන්දයෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ මේ අයුරිනි. ආනන්දයෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් මෙකල හෝ මාගේ ඇවෑමෙන් හෝ තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නාහු නම්, යම්කිසි කෙනෙක් සතිපට්ඨානය තුළ හික්මෙනු කැමති නම්, ආනන්දයෙනි, ඒ භික්ෂූහු අග්‍ර වන්නාහු ය.”
සාදු! සාදු!! සාදු!!!
චුන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M