සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.2.2. නාලන්දා සුත්තං

3.2.2. නාලන්දාවේ දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ පැහැදීමකින් සිටිමි. එනම් යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ තුළ ඇති ඒ සම්බුදු නුවණට වඩා වැඩි නුවණ ඇති අන්‍ය වූ කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා අතීතයෙහි ත් නොසිටියේ ය. අනාගතයෙහි ත් නොවන්නේ ය. මෙකල ද නැත්තේ ය” යි.

“සාරිපුත්තයෙනි, ඔබ විසින් උදාර වූ, නිර්භීත වචනයක් කියන ලද්දේ ය. ඒකාන්ත කොට ගත් වචනයක් කියන ලද්දේ ය. සිංහ නාදයක් කරන ලද්දේ ය. එනම් ‘ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ පැහැදීමකින් සිටිමි. එනම් යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ තුළ ඇති ඒ සම්බුදු නුවණට වඩා වැඩි නුවණ ඇති අන්‍ය වූ කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා අතීතයෙහි ත් නොසිටියේ ය. අනාගතයෙහි ත් නොවන්නේ ය. මෙකල ද නැත්තේ ය’ යන කරුණ යි.

කිම, සාරිපුත්තයෙනි, අතීතයෙහි ත් යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඔබ විසින් ඒ සියළු අතීත බුදුවරුන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නා ලද්දේ ද? ‘ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇති ව සිටි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්මයන් ඇති ව සිටි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇති ව සිටි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇති ව සිටි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්තියක් ඇති ව සිටි සේක’ යනුවෙන්?” “ස්වාමීනී, එසේ නැත්තේ ය.”

එසේ නම් කිම, සාරිපුත්තයෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු පහළ වන්නාහු ද, ඔබ විසින් ඒ සියළු අනාගත බුදුවරුන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නා ලද්දේ ද? ‘ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇති ව සිටින්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්මයන් ඇති ව සිටින්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇති ව සිටින්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇති ව සිටින්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්තියක් ඇති ව සිටින්නාහ’ යනුවෙන්?” “ස්වාමීනී, එසේ නැත්තේ ය.”

එසේ නම් කිම, සාරිපුත්තයෙනි, මෙකල අරහත් සම්මා සම්බුදුහු මම වෙමි. ඒ මාගේ සිත ඔබ විසින් පිරිසිඳ දන්නා ලද්දේ ද? ‘භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති ව සිටින සේක. භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ධර්මයන් ඇති ව සිටින සේක. භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ප්‍රඥා ඇති ව සිටින සේක. භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විහරණ ඇති ව සිටින සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විමුක්තියක් ඇති ව සිටින සේක’ යනුවෙන්?” “ස්වාමීනී, එසේ නැත්තේ ය.”

සාරිපුත්තයෙනි, මෙහිලා ඔබට අතීත – අනාගත – වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන්ගේ සිත් දැනීමෙහි ඥානයක් නැත්තේ ය. එසේ ඇති කල්හී කුමක් හෙයින් සාරිපුත්තයෙනි, ඔබ විසින් මේ උදාර වූ නිර්භය වචනය පවසන ලද්දේ ද? මෙකරුණ ඒකාන්ත කොට ගන්නා ලද්දේ ද? සිංහනාදයක් කරන ලද්දේ ද? එනම් ‘ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ පැහැදීමකින් සිටිමි. එනම් යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ තුළ ඇති ඒ සම්බුදු නුවණට වඩා වැඩි නුවණ ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා අතීතයෙහි ත් නොසිටියේ ය. අනාගතයෙහි ත් නොවන්නේ ය. මෙකල ද නැත්තේ ය’ යන කරුණ යි.”

“ස්වාමීනී, මා හට අතීත – අනාගත – වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන්ගේ සිත් දැනීමෙහි ඥානයක් නැත්තේ ය. වැලිදු ස්වාමීනී. මා විසින් ධර්මයට අනුව වූ වැටහීමක් දන්නා ලද්දේ ය.

ස්වාමීනී, එය මෙබඳු දෙයකි. රජෙකු හට දැඩි ප්‍රාකාර ඇති, දැඩි ප්‍රාකාර තොරණ ඇති, යෑම් – ඊම් සඳහා එක ම දොරටුවක් ඇති ඈත පිහිටි නගරයක් ඇත්තේ ය. එහි ඉතා නැණවත්, ව්‍යක්ත, ප්‍රඥාසම්පන්න දොරටුපාලයෙක් සිටියි. ඔහු නොදන්නවුන්ගේ ඇතුල් වීම වළක්වයි. දන්නවුන් පමණක් ඇතුල් කරවයි. දිනක් හේ එම නගරයේ පවුර වටා පිටින් ඇති මාවත දිගේ ඇවිදගෙන ගියේ ය. එකල්හී හේ අඩුගණනේ බළලෙකුට හෝ රහසින් ඇතුළු විය හැකි ප්‍රාකාර සංධියක් හෝ ප්‍රාකාර විවරයක් හෝ නුදුටුවේ ය. එවිට ඔහුට මෙසේ සිතුණේ ය. යම්කිසි ගොරෝසු සත්තු මේ නගරයට පිවිසෙත් නම්, නගරයෙන් නික්මෙත් නම්, ඒ සියළු සත්හු ම මේ දොරටුවෙන් ම පිවිසෙති. මෙයින් ම නික්මෙති යි.

ස්වාමීනී, ඒ අයුරින් ම ධර්මය අනුව ගිය වැටහීමක් මා විසින් දන්නා ලද්දේ ය. ස්වාමීනී, එනම් අතීතයෙහි යම් අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවා සප්ත බොජ්ඣංග ධර්මයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.

ස්වාමීනී, එසෙයින් ම අනාගතයෙහි යම් අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවා සප්ත බොජ්ඣංග ධර්මයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන්නාහු ය.

ස්වාමීනී, මෙකල අරහත් සම්මා සම්බුදුහු භාග්‍යවතුන් වහන්සේ වන සේක. භාග්‍යවතුන් වහන්සේ ද සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවා සප්ත බොජ්ඣංග ධර්මයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක යන කරුණ යි.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, එහෙයින් ඔබ මෙම ධර්ම පරියාය නිතර භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට පවසව. සාරිපුත්තයෙනි, යම් හිස් පුරුෂයන්ට තථාගතයන් කෙරෙහි යම් සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම්, මේ ධර්ම ක්‍රමය අසා ඔවුන් තුළ ත් තථාගතයන් කෙරෙහි යම් සැකයක් හෝ විමතියක් හෝ ඇද්ද, එය ප්‍රහීණ වන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

නාලන්දා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M