සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.2.1. මහාපුරිස සුත්තං

3.2.1. මහා පුරුෂයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, ‘මහා පුරුෂයා, මහා පුරුෂයා’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, මහා පුරුෂයෙකු වන්නේ කොපමණ කරුණු මත ද?”

“සාරිපුත්තයෙනි, කෙලෙසුන් ගෙන් මිදුණු සිත් ඇති බැවින් මහා පුරුෂයා යැයි මම කියමි. කෙලෙසුන් ගෙන් නොමිදුණු සිත් ඇති බැවින් මහා පුරුෂයා නොවේ යැයි මම කියමි. සාරිපුත්තයෙනි, කෙලෙසුන් ගෙන් මිදුණු සිතැත්තෙක් වන්නේ කෙසේ ද?

සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරන ඔහුගේ සිත නොඇලෙයි. උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහුගේ සිත නොඇලෙයි. උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි.

සාරිපුත්තයෙනි, මෙසේ කෙලෙසුන් ගෙන් මිදුණු සිත් ඇත්තෙක් වෙයි. සාරිපුත්තයෙනි, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති බැවින් මහා පුරුෂයා යැයි මම කියමි. කෙලෙසුන් ගෙන් නොමිදුණු සිත් ඇති බැවින් මහා පුරුෂයා නොවේ යැයි මම කියමි.”

සාදු! සාදු!! සාදු!!!

මහාපුරිස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M