ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන එක්තරා මෙහෙණවරකට වැඩියහ. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන්හ. එකල්හී බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වාසය කරන්නාහු ය. කලින්ට වඩා කිසියම් උදාර විශේෂයක් පසු ව හඳුනාගන්නාහු ය.”
“සොයුරියෙනි, එය එසේ ම ය. සොයුරියෙනි, එය එසේ ම ය. සොයුරියෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වසයි නම්, කලින්ට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනාගන්නේ ය යන්න ඔහු විසින් කැමති විය යුත්තේ ය.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුණීන්ට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, මෙහි මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන එක්තරා මෙහෙණවරකට වැඩියෙමි. වැඩම කොට පණවන ලද අසුනෙහි හිඳගත්තෙමි. එකල්හී ස්වාමිනී, බොහෝ භික්ෂුණීහු මා වෙත පැමිණියහ. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. ස්වාමීනී, එකත්පස් ව හුන් ඒ භික්ෂුණීහු මට මෙය පැවසූහ.
‘ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වාසය කරන්නාහු ය. කලින්ට වඩා කිසියම් උදාර විශේෂයක් පසු ව හඳුනාගන්නාහු ය.’
ස්වාමීනී, මෙසේ පැවසූ කල්හී මම ඒ භික්ෂුණීන්ට මෙය පැවසූයෙමි. ‘සොයුරියෙනි, එය එසේ ම ය. සොයුරියෙනි, එය එසේ ම ය. සොයුරියෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වසයි නම්, කලින්ට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනා ගන්නේ ය යන්න ඔහු විසින් කැමති විය යුත්තේ ය’ යි.
“ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වසයි නම්, කලින්ට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනාගන්නේ ය යන්න ඔහු විසින් කැමති විය යුත්තේ ය.
ඒ කවර සතරක් තුළ ද යත්, ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරන ඔහුට කය අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලක් හෝ උපදියි. සිතෙහි සැඟවුණු බවක් හෝ ඇතිවෙයි. බාහිරට හෝ සිත විසිරෙයි. ආනන්දයෙනි, එකල්හී ඒ භික්ෂුව විසින් කිසියම් ප්‍රසාදනීය නිමිත්තක සිත පිහිටුවිය යුත්තේ ය. කිසියම් ප්‍රසාදනීය නිමිත්තක සිත පිහිටුවන ඔහු තුළ ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. ඔහු මෙසේ නුවණින් සළකයි. ‘මම යම් කරුණක් සඳහා සිත පිහිටුවෙම් ද, මට එකරුණ ලැබුණේ ය. දැන් ඉතින් සිත නැවත කායානුපස්සනාවට ගනිමි’ යි හෙතෙම කායානුපස්සනාවට සිත ගනියි. විතර්ක නොකරයි. විචාර නොකරයි. ‘විතර්ක නැත්තෙම්, විචාර නැත්තෙම් ආධ්‍යාත්මයෙහි සිහි ඇති ව සුව ඇත්තෙමි’ යි දැනගනියි.
තව ද ආනන්දයෙනි, භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරන ඔහුට විඳීම් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලක් හෝ උපදියි. ….(පෙ)…. දැනගනියි.
තව ද ආනන්දයෙනි, භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. සිත පිළිබඳ චිත්තානුපස්සනාවෙන් වාසය කරන ඔහුට සිත අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලක් හෝ උපදියි. ….(පෙ)…. දැනගනියි.
තව ද ආනන්දයෙනි, භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහුට ධර්මයන් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලක් හෝ උපදියි. සිතෙහි සැඟවුණු බවක් හෝ ඇතිවෙයි. බාහිරට හෝ සිත විසිරෙයි. ආනන්දයෙනි, එකල්හී ඒ භික්ෂුව විසින් කිසියම් ප්‍රසාදනීය නිමිත්තක සිත පිහිටුවිය යුත්තේ ය. කිසියම් ප්‍රසාදනීය නිමිත්තක සිත පිහිටුවන ඔහු තුළ ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. ඔහු මෙසේ නුවණින් සළකයි. ‘මම යම් කරුණක් සඳහා සිත පිහිටුවෙම් ද, මට එකරුණ ලැබුණේ ය. දැන් ඉතින් සිත නැවත ධම්මානුපස්සනාවට ගනිමි’ යි හෙතෙම ධම්මානුපස්සනාවට සිත ගනියි. විතර්ක නොකරයි. විචාර නොකරයි. ‘විතර්ක නැත්තෙම්, විචාර නැත්තෙම් ආධ්‍යාත්මයෙහි සිහි ඇති ව සුව ඇත්තෙමි’ යි දැනගනියි.
ආනන්දයෙනි, මෙසේ සිත පිහිටුවා වැඩීම වෙයි.
ආනන්දයෙනි, සිත නොපිහිටුවා වැඩීම වන්නේ කෙසේ ද? ආනන්දයෙනි, භික්ෂුව කායානුපස්සනාවෙන් බාහිර නිමිත්තක සිත නොපිහිටුවා ඇති විට ‘මාගේ සිත බාහිර නිමිත්තක නොපිහිටුවන ලදැ’ යි දැනගනියි. නැවත පසු-පෙර නොහැකිලුණේ, මිදුණේ, නොපිහිටුවන ලද්දේ යැයි දැනගනියි. එකල්හී ත් ‘කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව සුව සේ සිටිමි’ යි දැනගනියි.’
ආනන්දයෙනි, භික්ෂුව වේදනානුපස්සනාවෙන් බාහිර නිමිත්තක සිත නොපිහිටුවා ඇති විට ‘මාගේ සිත බාහිර නිමිත්තක නොපිහිටුවන ලදැ’ යි දැනගනියි. නැවත පසු-පෙර නොහැකිලුණේ, මිදුණේ, නොපිහිටුවන ලද්දේ යැයි දැනගනියි. එකල්හී ත් ‘විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව සුව සේ සිටිමි’ යි දැනගනියි.’
ආනන්දයෙනි, භික්ෂුව චිත්තානුපස්සනාවෙන් බාහිර නිමිත්තක සිත නොපිහිටුවා ඇති විට ‘මාගේ සිත බාහිර නිමිත්තක නොපිහිටුවන ලදැ’ යි දැනගනියි. නැවත පසු-පෙර නොහැකිලුණේ, මිදුණේ, නොපිහිටුවන ලද්දේ යැයි දැනගනියි. එකල්හී ත් ‘සිත පිළිබඳ චිත්තානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව සුව සේ සිටිමි’ යි දැනගනියි.’
ආනන්දයෙනි, භික්ෂුව ධම්මානුපස්සනාවෙන් බාහිර නිමිත්තක සිත නොපිහිටුවා ඇති විට ‘මාගේ සිත බාහිර නිමිත්තක නොපිහිටුවන ලදැ’ යි දැනගනියි. නැවත පසු-පෙර නොහැකිලුණේ, මිදුණේ, නොපිහිටුවන ලද්දේ යැයි දැනගනියි. එකල්හී ත් ‘ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව සුව සේ සිටිමි’ යි දැනගනියි. මෙසේ ආනන්දයෙනි, අප්පණිධාය භාවනාව වෙයි.
ආනන්දයෙනි, මෙසේ මා විසින් සිත බාහිර නිමිත්තක පිහිටුවා වැඩීම නම් වූ පණිධාය භාවනාව ත් දෙසන ලද්දේ ය. සිත බාහිර නිමිත්තක නොපිහිටුවා වැඩීම නම් වූ අප්පණිධාය භාවනාව ත් දෙසන ලද්දේ ය. ආනන්දයෙනි, ශ්‍රාවකයින්ට හිතවත් වූ, අනුකම්පා ඇති ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුතු නම්, මා විසින් එය ඔබට කරන ලද්දේ ය. ආනන්දයෙනි, ඔය තිබෙන්නේ රුක්මුල් ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයන් ය. ආනන්දයෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාද නොවෙව්. පසු ව පසුතැවිල්ලට පත්වන්නට එපා! මෙය ඔබට අපගේ අනුශාසනාව යි.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛුනූපස්සය සූත්‍රය නිමා විය.
පළමු වෙනි අම්බපාලි වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අම්බපාලි සූත්‍රය, සතෝ සූත්‍රය, භික්ඛු සූත්‍රය, සාලා සූත්‍රය, කුසලරාසි සූත්‍රය, සකුණග්ඝි සූත්‍රය, මක්කට සූත්‍රය, සූද සූත්‍රය, ගිලාන සූත්‍රය සහ භික්ඛුනූපස්සය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M