එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර බේලුව ගමෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එව්. ඔබ විශාලා මහනුවර හාත්පස යම් සේ යහළුවන් සිටිත් ද, යම් සේ දැක පුරුදු යහළුවන් සිටිත් ද, යම් සේ දැඩි මිතුරු යහළුවන් සිටිත් ද, එහි වස් වසව්. මම මෙහි ම බේලුව ගමෙහි වස් වසමි” යි.
“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා මහනුවර හාත්පස යම් සේ යහළුවන් සිටිත් ද, යම් සේ දැක පුරුදු යහළුවන් සිටිත් ද, යම් සේ දැඩි මිතුරු යහළුවන් සිටිත් ද, එහි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ බේලුව ගමෙහි ම වස් වැසූ සේක. එකල්හී වස් වසා සිටි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයක් හටගත්තේ ය. මාරාන්තික වූ බලවත් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතු ව පීඩාවට පත් නොවෙමින් ඒ වේදනා ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘යම් බඳු මම උපස්ථායකයන් නොඅමතා, භික්ෂු සංඝයාට නොදන්වා, පිරිනිවෙන්නෙම් නම් එය මට සුදුසු නොවෙයි. ඉදින් මම මේ ආබාධය වීර්යයෙන් යටපත් කොට ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වසන්නෙම් නම් යහපති’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්යයෙන් යටපත් කොට, ජීවිත සංස්කාරය අදිටන් කොට වාසය කළ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ගිලන් බවින් නැගිට වැඩිකල් නොගොස් විහාරය පිටුපස සෙවණැල්ලෙහි පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසී ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි යැයි මා විසින් දකිනා ලදී. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි යැයි මා විසින් දකිනා ලදී. වැලිදු ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතුවෙන් මාගේ ශරීරය බර වූවක් මෙන් වැටහෙයි. මට බැලිය යුතු දිශාව වත් පැහැදිලි නොවෙයි. ධර්මය ද මට නොවැටහෙයි. එමෙන් ම ස්වාමීනී, මට මේ අදහස ඇතිවූයේ ය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් ම පිරිනිවන් නොපානා සේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අරභයා තව ම කිසිවක් ගෙනහැර නොපානා සේක’ යි කිසියම් අස්වැසිලි මාත්‍රයක් ඇත්තේ ය.”
“ආනන්දයෙනි, දැන් භික්ෂු සංඝයා මගෙන් කුමක් අපේක්ෂා කරන්නේ ද? ආනන්දයෙනි, මා විසින් ඇතුළත පිටත නොකොට ධර්මය දෙසන ලද්දේ ය. ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්මය තුළ ආචාර්යවරයා මිටින් සඟවා ගත් දෙයක් නැත්තේ ය. ආනන්දයෙනි, යමෙකුට මෙබඳු අදහසක් ඇත්තේ නම්, එනම් ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසිය යුතු කොට පවතින්නේ ය’ කියා හෝ ආනන්දයෙනි, ඔහු නම් භික්ෂු සංඝයා අරභයා කිසිවක් ගෙනහැර පානු ඇත. එනමුදු ආනන්දයෙනි, තථාගතයන් තුළ මෙබඳු අදහසක් නැත්තේ ය. එනම් ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසිය යුතු කොට පවතින්නේ ය’ කියා හෝ ය. එසේ ඇති කල්හී කුමක් හෙයින් ආනන්දයෙනි, තථාගත තෙමේ භික්ෂු සංඝයා අරභයා කිසිවක් ගෙනහැර පාන්නේ ද?
ආනන්දයෙනි, මෙකල්හී ජරාවට පත්වූයේ, වයෝවෘද්ධ වූයේ, වැඩිමහළු වූයේ, කල්ගත වූයේ, පිළිවෙලින් මහළු වූයේ වෙමි. මාගේ අසූ වැනි විය පවතියි. ආනන්දයෙනි, දිරූ කරත්තයක් උණ පතුරු බැඳීමෙන් කළ පිළිසකරින් යැපෙන්නේ යම් සේ ද, එපරිද්දෙන් ආනන්දයෙනි, තථාගතයන්ගේ කය ද උණ පතුරු බැඳීමෙන් කළ පිළිසකරින් මෙන් යැපෙයි.
ආනන්දයෙනි, යම් අවස්ථාවක තථාගත තෙමේ සියළු නිමිති මෙනෙහි නොකිරීමෙන්, ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන්, නිමිති රහිත චිත්ත සමාධියක් උපදවාගෙන වාසය කරයි නම්, ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි තථාගතයන්ට වඩා ත් පහසු වෙයි.
එහෙයින් ආනන්දයෙනි, තමා පිහිට කොට වාසය කරව්. තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට වාසය කරව්. ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරව්. ආනන්දයෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
ආනන්දයෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ මේ අයුරිනි. ආනන්දයෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් මෙකල හෝ මාගේ ඇවෑමෙන් හෝ තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නාහු නම්, යම්කිසි කෙනෙක් සතිපට්ඨානය තුළ හික්මෙනු කැමති නම්, ආනන්දයෙනි, ඒ භික්ෂූහු අග්‍ර වන්නාහු ය.”
සාදු! සාදු!! සාදු!!!
ගිලාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M