සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.2.4. උක්කචේල සුත්තං

3.2.4. උක්කචේල නුවර දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වජ්ජී ජනපදයෙහි උක්කචේල නුවර නදී තීරයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ වැඩවෙසෙන සේක. ඒ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා දෙනම පිරිනිවන් පා වැඩිකලක් නැති අවදියකි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එළිමහනෙහි වැඩහුන් සේක. එකල්හී නිහඬ ව වැඩසිටි භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිරිනිවන් පෑ කල්හී මේ මුළු පිරිස ම හිස් වූවාක් මෙන් වැටහෙයි. මහණෙනි, යම් දිශාවක මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ සිටිත් ද, මාගේ ඒ පිරිස හිස් නැත්තේ ය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතු යැයි මට අපේක්ෂාවක් නොවෙයි.

මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.

මහණෙනි, ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, ශ්‍රාවකයන්ගේ අද්භූතයෙකි! ශාස්තෘන් වහන්සේ හා සම ව සසුන කරන්නෝ වන්නාහ. අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ ය. සිව් පිරිසට ප්‍රිය ව, මනාප ව, ගරු සම්භාවනාවට පාත්‍ර වන්නෝ ය.

මහණෙනි, තථාගතයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, තථාගතයන්ගේ අද්භූතයෙකි! මෙබඳු වූ ශ්‍රාවක යුගලයක් පිරිනිවන් පෑ කල්හී පවා තථාගතයන් හට ශෝකයක් හෝ වැළපීමක් හෝ නැත්තේ ය. මහණෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය.

මහණෙනි, අරටුව ඇති මහා වෘක්ෂයක යම් මහා ඇතුළු කඳක් තිබේ ද, එය නැසෙන්නේ යම් සෙයින් ද, එසෙයින් ම මහණෙනි, මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තමොග්ගල්ලානයෝ ද පිරිනිවන් පෑහ. මහණෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය.

එහෙයින් මහණෙනි, තමා පිහිට කොට වාසය කරව්. තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට වාසය කරව්. ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරව්. මහණෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නේ මේ අයුරිනි. මහණෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් මෙකල හෝ මාගේ ඇවෑමෙන් හෝ තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මය සරණ කොට, අන් දෙයක් සරණ නොකොට වාසය කරන්නාහු නම්, යම්කිසි කෙනෙක් සතිපට්ඨානය තුළ හික්මෙනු කැමති නම්, මහණෙනි, ඒ භික්ෂූහු අග්‍ර වන්නාහු ය.”

සාදු! සාදු!! සාදු!!!

උක්කචේල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M