මහණෙනි, යම් තැනක වඳුරන්ගේ හැසිරීමක් නැද්ද, මිනිසුන්ගේ හැසිරීමකුත් නැද්ද, හිමාල පර්වතරාජයාගේ එබඳු යා ගත නොහැකි විෂම ප්‍රදේශ ඇත්තේ ය.
මහණෙනි, යම් තැනක වඳුරන්ගේ හැසිරීමක් ඇද්ද, මිනිසුන්ගේ හැසිරීමක් නැද්ද, හිමාල පර්වතරාජයාගේ එබඳු මිනිසුන්ට යා ගත නොහැකි විෂම ප්‍රදේශ ඇත්තේ ය.
මහණෙනි, යම් තැනක වඳුරන්ගේ හැසිරීමකුත් ඇද්ද, මිනිසුන්ගේ හැසිරීමකුත් ඇද්ද, හිමාල පර්වතරාජයාගේ එබඳු රමණීය සම භූමිභාග ඇත්තේ ය. මහණෙනි, එහිදී වැද්දෝ වඳුරන් යන මාවතෙහි වඳුරන් නසනු පිණිස වඳුරු ලාටු අලවා තබති. මහණෙනි, එහිදී යම් ඒ වඳුරෝ බාල ගති නැති ව, ලොල් ගති නැති ව සිටිත් ද, ඔවුහු දුර දී ම ඒ ලහටු දැක දුරු කරති. යම් ඒ වඳුරෙක් බාල ගති ඇති ව, ලොල් ගති ඇති ව සිටියි ද, ඔහු ඒ ලහටු කරා ගොස් අතින් ගනියි. ඔහු එහි බැඳෙයි. අත ගලවා ගන්නෙමි යි සිතා දෙවෙනි අතින් ගනියි. ඔහු එහි බැඳෙයි. දෙඅත් ගලවා ගන්නෙමි යි සිතා පාදයෙන් ගනියි. ඔහු එහි බැඳෙයි. දෙඅත් ද, පාදය ද ගලවා ගන්නෙමි යි සිතා දෙවෙනි පාදයෙන් ගනියි. ඔහු එහි බැඳෙයි. දෙඅත් ද, දෙපා ද ගලවා ගන්නෙමි යි සිතා මුවින් ගනියි. ඔහු එහි බැඳෙයි. මෙසේ මහණෙනි, ඒ වඳුරා පස් තැනකින් ඇලෙන ලද්දේ විපතට පත් වූයේ, ව්‍යසනයට පත්වූයේ වැද්දාට කැමති දෙයක් කළ හැකි වූයේ තතනමින් නිදයි. මහණෙනි, වැද්දා ඒ වඳුරාට එහිදි ම විද උදුරා බැහැර නොකොට කැමති දිශාවකට යයි. මහණෙනි, යමෙක් අන්‍යයන් සතු අගෝචර විෂයෙහි හැසිරෙයි නම් එය මෙසේ ම වෙයි.
එහෙයින් මහණෙනි, අනුන්ගේ බල ප්‍රදේශයෙහි, අගෝචරයෙහි හැසිරෙන්නට එපා. මහණෙනි, අනුන් අයත් බල ප්‍රදේශයෙහි, අගෝචරයෙහි හැසිරෙන්නා ව අල්ලා ගන්නට මාරයා අවකාශ ලබයි. මාරයා අරමුණක් ලබයි. මහණෙනි, භික්ෂුවකට අගෝචර වූ අනුන් අයත් බල ප්‍රදේශය යනු කුමක් ද? මේ පංච කාම ගුණයෝ ය. ඒ කවර පසක් ද යත්, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත, කෙලෙස් උපදවන, ඇසින් දැක්ක යුතු රූපයෝ ය. ….(පෙ)…. කනින් ඇසිය යුතු ශබ්දයෝ ය. ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත, කෙලෙස් උපදවන, කයෙන් දත යුතු ස්පර්ශයෝ ය. මහණෙනි, මෙය භික්ෂුවකට අයත් නොවූ අන්‍යයන්ට අයත් බල ප්‍රදේශය යි.
මහණෙනි, තමන්ට අයත් වූ තම පියාණන් සතු බල ප්‍රදේශයෙහි හැසිරෙව්. මහණෙනි, තමන්ට අයත් වූ තම පියාණන් සතු බල ප්‍රදේශයෙහි හැසිරෙන්නවුන් ග්‍රහණය කරගන්නට මාරයා අවකාශයක් නොලබයි. මාරයා අරමුණක් නොලබයි.
මහණෙනි, භික්ෂුවට අයත් වූ සිය පියාණන් සතු බල ප්‍රදේශය කුමක් ද? ඒ මේ සතර සතිපට්ඨානයෝ ය. ඒ කවර සතරක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙය භික්ෂුවට අයත් සිය පියාණන් සතු බල ප්‍රදේශය වෙයි.
සාදු! සාදු!! සාදු!!!
මක්කට සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M