සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.1.6. සකුණග්ඝි සුත්තං

3.1.6. ගිජුලිහිණිය උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ගිජුලිහිණියක් බලහත්කාරයෙන් පැමිණ කැටකුරුල්ලෙකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හී කැටකුරුල්ලා තමා ව රැගෙන යනු ලබන ගිජුලිහිණියට හඬමින් මෙසේ කීවේ ය.

‘අපි ම කාලකන්නි වෙමු. අපි ම පින් නැත්තෝ වෙමු. යම් බඳු අපි අපට අයත් නැති, අනුන් අයත් විෂයෙහි හැසිරුණෙමු. ඉදින් අපි අද තමන්ගේ පියා සතු ගෝචර විෂයෙහි හැසිරුණෝ නම් මේ ගිජුලිහිණිය මේ යුද්ධයට සමර්ථ වන්නේ නැතැ’ යි.

‘එම්බා කැටකුරුල්ල, තොපගේ බල ප්‍රදේශය වූ තම පියා සතු විෂය යනු කුමක් ද?’

‘නඟුලෙන් සාන ලද කෙතෙහි මැටි කැට උස් ව නැගුණු තැන යි.’

එකල්හී මහණෙනි, ගිජුලිහිණිය තම බලයෙහි දැඩි ව සිට තම බලය පවසමින් කුරුල්ලා මුදා හැරියා ය. ‘එම්බා කැටකුරුල්ල, තෝ යව. එතැනට ගොසිනුත් මාගෙන් නිදහස් නොවන්නෙහි ය’ යි.

ඉක්බිති මහණෙනි, කැටකුරුල්ලා නඟුලෙන් සාන ලද කෙතෙහි උස් ව නැගුණු මැටි කැටය ඇති තැනට ගොස් මහත් මැටි කැටයකට නැග ‘ගිජුලිහිණිය, දැන් එව. ගිජුලිහිණිය, දැන් එව’ යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. එකල්හී මහණෙනි, ඒ ගිජුලිහිණිය තම බලයෙහි දැඩි ව සිට, තම බලය ගැන කියවමින් දෙපියාපත් නගා කැටකුරුල්ලා වෙත සැහැසි ව කඩා පැන්නා ය. මහණෙනි, කැටකුරුල්ලා යම් කලෙක ‘මේ ගිජුලිහිණියා මා ගනු පිණිස බොහෝ දුර ආවා යැ’ යි දැනගත්තේ ද, එකල්හී ඒ මැටි කැටය ඇතුළට පිවිසියේ ය. එකල්හී මහණෙනි, ගිජුලිහිණිය එතැන ම ළය තලා ගත්තා ය. මහණෙනි, යමෙක් තමන්ට අයත් නැති බලප්‍රදේශයෙහි, අනුන් අයත් බල ප්‍රදේශයෙහි හැසිරෙයි නම් එය මෙසේ ම වෙයි.

එහෙයින් මහණෙනි, අනුන්ගේ බල ප්‍රදේශයෙහි, අගෝචරයෙහි හැසිරෙන්නට එපා. මහණෙනි, අනුන් අයත් බල ප්‍රදේශයෙහි, අගෝචරයෙහි හැසිරෙන්නා ව අල්ලා ගන්නට මාරයා අවකාශ ලබයි. මාරයා අරමුණක් ලබයි. මහණෙනි, භික්ෂුවකට අගෝචර වූ අනුන් අයත් බල ප්‍රදේශය යනු කුමක් ද? මේ පංච කාම ගුණයෝ ය. ඒ කවර පසක් ද යත්, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත, කෙලෙස් උපදවන, ඇසින් දැක්ක යුතු රූපයෝ ය. ….(පෙ)…. කනින් ඇසිය යුතු ශබ්දයෝ ය. ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත, කෙලෙස් උපදවන, කයෙන් දත යුතු ස්පර්ශයෝ ය. මහණෙනි, මෙය භික්ෂුවකට අයත් නොවූ අන්‍යයන්ට අයත් බල ප්‍රදේශය යි.

මහණෙනි, තමන්ට අයත් වූ තම පියාණන් සතු බල ප්‍රදේශයෙහි හැසිරෙව්. මහණෙනි, තමන්ට අයත් වූ තම පියාණන් සතු බල ප්‍රදේශයෙහි හැසිරෙන්නවුන් ග්‍රහණය කරගන්නට මාරයා අවකාශයක් නොලබයි. මාරයා අරමුණක් නොලබයි.

මහණෙනි, භික්ෂුවට අයත් වූ සිය පියාණන් සතු බල ප්‍රදේශය කුමක් ද? ඒ මේ සතර සතිපට්ඨානයෝ ය. ඒ කවර සතරක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙය භික්ෂුවට අයත් සිය පියාණන් සතු බල ප්‍රදේශය වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සකුණග්ඝි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M