සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.1.4. සාලා සුත්තං

3.1.4. සාලා ගමේ දී වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි, යම් ඒ භික්ෂූහු නවක වෙත් ද, පැවිදි වී වැඩිකල් නැද්ද, ළඟදී මේ ධර්ම විනයට පැමිණියාහු වෙත් ද, මහණෙනි, ඔබ විසින් ඒ භික්ෂූහු සතර සතිපට්ඨානයන් වැඩීමෙහි සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්,

‘එව් ආයුෂ්මත්නි, ඔබ කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, කයෙහි සැබෑ තතු අවබෝධ කරනු පිණිස කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව්.

කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, වේදනාවන්හි සැබෑ තතු අවබෝධ කරනු පිණිස විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරව්.

කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, සිතෙහි සැබෑ තතු අවබෝධ කරනු පිණිස සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරව්.

කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, ධර්මයන්හි සැබෑ තතු අවබෝධ කරනු පිණිස ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව්.’

මහණෙනි, යම් ඒ භික්ෂූහු නිවන් මගෙහි හික්මෙමින් සිටිත් ද, අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවන පතමින් නොපැමිණි අරහත්වය ඇති ව සිටිත් ද, ඒ භික්ෂූහු ත් කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, කයෙහි සැබෑ තතු පිරිසිඳ දකිනු පිණිස කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරති. ….(පෙ)…. වේදනාවන්ගේ සැබෑ තතු පිරිසිඳ දකිනු පිණිස විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරති. ….(පෙ)…. සිතෙහි සැබෑ තතු පිරිසිඳ දකිනු පිණිස සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරති. කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, ධර්මයන්හි සැබෑ තතු පිරිසිඳ දකිනු පිණිස ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරති.

මහණෙනි, යම් ඒ භික්ෂූහු අරහත් වූවාහු වෙත් ද, ක්ෂීණාශ්‍රව වෙත් ද, නිම වූ බඹසර ඇති, කළ යුත්ත කරන ලද, කෙලෙස් බර බහා තැබූ, පිළිවෙලින් පැමිණි අරහත්වය ඇති, භව සංයෝජන ක්ෂය කොට මැනැවින් දැන මිදුණාහු වෙත් ද, ඔවුහු ත් කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, කය හා එක් නොවී, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරති. ….(පෙ)…. විඳීම් හා එක් නොවී, විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරති. ….(පෙ)…. සිත හා එක් නොවී, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරති. කෙලෙස් තවන වීරිය ඇති ව, මනා දැනුම් ඇති ව, එකඟ සිත් ඇති ව, ඉතා පහන් සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, ඒකාග්‍ර සිත් ඇති ව, ධර්මයන් හා එක් නොවී, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරති.

මහණෙනි, යම් ඒ භික්ෂූහු නවක වෙත් ද, පැවිදි වී වැඩිකල් නැද්ද, ළඟදී මේ ධර්ම විනයට පැමිණියාහු වෙත් ද, මහණෙනි, ඔබ විසින් ඒ භික්ෂූහු සතර සතිපට්ඨානයන් වැඩීමෙහි සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සාලා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M