එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා මම තනි ව, හුදෙකලාව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව, වාසය කරන්නෙම් නම්, මා හට භාග්‍යවතුන් වහන්සේ එබඳු ධර්මයක් සංක්ෂේපයෙන් වදාරණ සේක් නම් යහපති.”
“මෙහි ඔය අයුරින් ම ඇතැම් හිස් පුරුෂයෝ මට ම ඇරයුම් කරත් නොවැ. ධර්මය දෙසූ කල්හී ත් මාව ම ලුහුබැඳිය යුතු කොට සිතති.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට සංක්ෂේපයෙන් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ මා හට සංක්ෂේපයෙන් දහම් දෙසන සේක්වා! භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයෙහි අර්ථය මම දැනගන්නෙම් නම් ඉතා යහපති. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට මම හිමිකරුවෙක් වන්නෙම් නම් ඉතා යහපති.”
“එසේ වී නම් භික්ෂුව ඔබ කුසල් දහම්හි පටන් ගැනීම ම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ පටන් ගැනීම කුමක් ද? ඉතා පිරිසිදු සීලය ත්, ඍජු වූ දෘෂ්ටිය ත් ය.
භික්ෂුව, යම් කලෙක ඔබගේ සීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටිය ඍජු වන්නේ ද, එකල්හී ඔබ භික්ෂුව, සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානය තුන් අයුරකින් වැඩිය යුත්තෙහි ය. ඒ කවර සතරක් ද යත්;
මෙහිලා ඔබ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, අනුන්ගේ කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව.
තමාගේ විඳීම් පිළිබඳ ව ….(පෙ)…. අනුන්ගේ විඳීම් පිළිබඳ ව ….(පෙ)…. තමාගේ ත්, අනුන්ගේ ත් විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරව.
තමාගේ සිත පිළිබඳ ව ….(පෙ)…. අනුන්ගේ සිත පිළිබඳ ව ….(පෙ)…. තමාගේ ත්, අනුන්ගේ ත් සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරව.
කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, අනුන්ගේ ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව.
යම් කලෙක භික්ෂුව ඔබ සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් තුන් අයුරකින් වඩන්නෙහි ද, එකල්හී භික්ෂුව, ඔබට රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම්, කුසල් දහම් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නම් නොවෙයි.”
ඉක්බිති ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියේ ය. එකල්හී ඒ භික්ෂුව තනි වී, හුදෙකලා වී, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරන්නේ යම් කරුණක් උදෙසා කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය නොබෝ කලකින් ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළේ ය. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමා විය. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැ’ යි දැනගත්තේ ය. ඒ භික්ෂුව රහතන් වහන්සේලා අතර එක්තරා රහත් නමක් බවට පත්වූයේ ය.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M