සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.1.2. සතෝ සුත්තං

3.1.2. සිහි ඇති ව සිටීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

මහණෙනි, භික්ෂුවක් සිහියෙන් යුතු ව, නුවණින් යුතු ව වාසය කළ යුත්තේ ය. මෙය ඔබට අපගේ අනුශාසනාව යි.

මහණෙනි, භික්ෂුවක් සිහියෙන් ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව සිහි ඇත්තේ වෙයි.

මහණෙනි, භික්ෂුව නුවණින් යුතු ව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඉදිරියට යන කල්හි ද, ආපසු හැරී එන කල්හි ද, එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. ඉදිරිය බලන කල්හි ද, වටපිට බලන කල්හි ද, එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. අත් පා හකුළන කල්හි ද, දිගහරින කල්හි ද, එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. සඟල සිවුරු, පාත්‍රය, සිවුරු පරිහරණය කරන කල්හී එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. වළඳන – පානය කරන – අනුභව කරන – රස විඳින දෙයෙහි ද, එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. වැසිකිලි කැසිකිලි කරන කල්හී, සිටින කල්හී, හිඳින කල්හී, නිදන කල්හී, නිදිවරන කල්හී, කතා කරන කල්හී, නිහඬව සිටින කල්හී, එය මනා නුවණින් යුතු ව කරන සුළු වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මනා නුවණින් යුතු වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුව සිහියෙන් හා නුවණින් යුතු ව විසිය යුත්තේ ය. මෙය ඔබට අපගේ අනුශාසනය යි.

සාදු! සාදු!! සාදු!!!

සතෝ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M