සංයුත්ත නිකාය

මහා වග්ගෝ

9. ගංගාපෙය්‍යාලෝ

9. ගංගා පෙය්‍යාල වර්ගය

2.9.1.-12 ගංගාදී සූත්‍රයෝ

ගංගාව ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නා වූ, සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් සප්ත බොජ්ඣංගයන් දියුණු කරන විට ද? කුමන අයුරින් සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන විට ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, මේ අයුරින් සප්ත බොජ්ඣංගයන් දියුණු කරන විට ය. මේ අයුරින් සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන විට ය.

(දොළොසක් වූ සූත්‍රාන්තයෝ විස්තර කළ යුත්තාහු ය.)

නව වෙනි ගංගා පෙය්‍යාල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සය බැගින් දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M