සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.8. අනීවරණ සුත්තං

2.4.8. නොවැසුණු බව ගැන වදාළ දෙසුම

මහණෙනි, යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා ඉතා හොඳින් අවධානය යොමු කොට, මෙනෙහි කොට, මුළු සිත ම මෙහෙයවා, යොමු කළ කන් ඇති ව ධර්මය අසයි ද, ඒ අවස්ථාවෙහි ඔහු තුළ පංච නීවරණ නැත්තේ ය. ඒ අවස්ථාවෙහි සප්ත බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණත්වයට යති. ඔහුට ඒ අවස්ථාවේ නැත්තේ කවර පංච නීවරණයන් ද? ඒ අවස්ථාවෙහි ඔහුට කාමච්ඡන්ද නීවරණය නැත්තේ ය. ව්‍යාපාද නීවරණය ….(පෙ)…. ථීනමිද්ධ නීවරණය ….(පෙ)…. උද්ධච්ච කුක්කුච්ච නීවරණය ….(පෙ)…. ඒ අවස්ථාවෙහි ඔහුට විචිකිච්ඡා නීවරණය නැත්තේ ය. ඒ අවස්ථාවෙහි ඔහු තුළ පංච නීවරණයෝ නැත්තාහ.

ඒ අවස්ථාවෙහි වැඩීමෙන් සම්පූර්ණත්වයට යන සප්ත බොජ්ඣංගයෝ මොනවා ද? ඒ අවස්ථාවෙහි සති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ….(පෙ)…. ඒ අවස්ථාවෙහි උපේක්ඛා සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි.

මහණෙනි, යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා ඉතා හොඳින් අවධානය යොමු කොට, මෙනෙහි කොට, මුළු සිත ම මෙහෙයවා, යොමු කළ කන් ඇති ව ධර්මය අසයි ද, ඒ අවස්ථාවෙහි ඔහු තුළ මේ පංච නීවරණ නැත්තේ ය. ඒ අවස්ථාවෙහි මේ සප්ත බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණත්වයට යති.

සාදු! සාදු!! සාදු!!!

අනීවරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M