සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.3.9. ඒකධම්ම සුත්තං

2.3.9. එක් ධර්මයක් ගැන වදාළ දෙසුම

මහණෙනි, යම් ධර්මයක් මෙසේ භාවිත කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සංයෝජනයන්ට හිත වූ ධර්මයන් ප්‍රහාණය පිණිස පවතියි නම්, මහණෙනි, යම් බඳු වූ මේ සප්ත බොජ්ඣංගයෝ වෙත් ද, එබඳු වූ අන් එක ධර්මයක් වත් මම නොදකිමි. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.

මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයන් ද සංයෝජනයන්ට හිත වූ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස පවතින්නේ? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයන් සංයෝජනයන්ට හිත වූ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස පවතින්නේ ය.

මහණෙනි, සංයෝජනයන්ට හිත වූ ධර්මයන් මොනවා ද? මහණෙනි, ඇස යනු කෙලෙස් බන්ධනයන්ට හිතකර ධර්මයකි. මෙහි ඒ සංයෝජනයන්ට බැඳුණු බැසගැනීම් උපදිති. ….(පෙ)…. මනස යනු කෙලෙස් බන්ධනයන්ට හිතකර ධර්මයකි. මෙහි ඒ සංයෝජනයන්ට බැඳුණු බැසගැනීම් උපදිති. මහණෙනි, මේවා සංයෝජනයන්ට හිතකර ධර්මයන් යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

ඒකධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M