එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සේතක නම් සුම්භයන්ගේ නියම්ගමෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ ප්‍රේමය ත්, ගෞරවය ත්, ලැජ්ජා භය ත්, කෙතෙක් බුහුමන් කරන ලද්දේ ද යත්, ස්වාමීනී, කලින් ගිහි ව සිටිද්දී මම ධර්මයෙන් බුහුමන් කරන ලද්දේ නොවෙමි. සංඝයා විසින් බුහුමන් කරන ලද්දේ නොවෙමි. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ත්, ගෞරවය ත්, ලැජ්ජාව ත්, භය ත් දකිමින් ගිහි ගෙය අත්හැර අනගාරික සසුනෙහි පැවිදි වීමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. එනම් ‘මෙසේ රූපය ය. මෙසේ රූපයේ හටගැනීම ය. මෙසේ රූපයෙහි නැතිවීම ය. මෙසේ විඳීම ය ….(පෙ)…. මෙසේ සංඥාව ය ….(පෙ)…. මෙසේ සංස්කාරයන් ය ….(පෙ)…. මෙසේ විඤ්ඤාණය ය. මෙසේ විඤ්ඤාණයේ හටගැනීම ය. මෙසේ විඤ්ඤාණයේ නැතිවීම ය’ වශයෙනි.
ස්වාමීනී, ඒ මම නිදහස් තැනකට ගොස් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම – වැනසීම නුවණින් විමසා බලමින් මේ දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කළෙමි. මේ දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කළෙමි. මේ දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කළෙමි. මේ දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කළෙමි. ස්වාමීනී, මා විසින් ධර්මය ත් අවබෝධ කරන ලදී. මාර්ගය ත් ලබන ලදී. මා විසින් යම් මාර්ගයක් භාවිත කරන ලද්දේ ද, බහුල කරන ලද්දේ ද, ඒ ඒ අයුරින් වාසය කරද්දී ඒ අයුරින් ම ප්‍රතිඵලයට පමුණුවන්නේ ය. යම් සේ මම ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේ යැ’යි දැනගන්නෙම් ද, එසේ ය.
ස්වාමීනී, මා විසින් සති සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් බොජ්ඣංගයක් භාවිත කරන ලද්දේ ද, බහුල කරන ලද්දේ ද, ඒ ඒ අයුරින් වාසය කරද්දී ඒ අයුරින් ම ප්‍රතිඵලයට පමුණුවන්නේ ය. යම් සේ මම ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේ යැ’යි දැනගන්නෙම් ද, එසේ ය. ….(පෙ)…. ස්වාමීනී, මා විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් බොජ්ඣංගයක් භාවිත කරන ලද්දේ ද, බහුල කරන ලද්දේ ද, ඒ ඒ අයුරින් වාසය කරද්දී ඒ අයුරින් ම ප්‍රතිඵලයට පමුණුවන්නේ ය. යම් සේ මම ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේ යැ’යි දැනගන්නෙම් ද, එසේ ය.”
“ස්වාමීනී, මා විසින් මේ මාර්ගය ලබන ලදී. ඒ ඒ අයුරින් ඒ ඒ අයුරින් වාසය කරද්දී ඒ අයුරින් ම ප්‍රතිඵලයට පමුණුවන්නේ ය. යම් සේ මම ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේ යැ’යි දැනගන්නෙම් ද, එසේ ය.”
“උදායී, යහපති, යහපති. උදායී, ඔබ විසින් මේ මාර්ගය ලබන ලද්දේ ය. ඔබ විසින් යම් මාර්ගයක් වඩන ලද්දේ ද, බහුල කරන ලද්දේ ද, ඒ ඒ අයුරින් වාසය කරද්දී ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේ යැ’යි යම් සේ ඔබ දැනගන්නෙහි නම් එසේ ඒ බව පිණිස පමුණුවනු ලබන්නේ ය.”
සාදු! සාදු!! සාදු!!!
උදායී සූත්‍රය නිමා විය.
තුන්වෙනි උදායී වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බෝධාය සූත්‍රය, දේසනා සූත්‍රය, ඨාන සූත්‍රය, යෝනිසෝ සූත්‍රය, අපරිහානීය සූත්‍රය, ඛය සූත්‍රය, නිරෝධ සූත්‍රය, නිබ්බේධ සූත්‍රය, ඒකධම්ම සූත්‍රය සහ උදායී සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M