සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.1. කුසල සුත්තං

2.4.1. කුසල් ගැන වදාළ දෙසුම

මහණෙනි, යම්කිසි ධර්මයක් කුසල් වෙයි ද, කුසලයට අයත් වෙයි ද, කුසල පාක්ෂික වෙයි ද, ඒ සෑම කුසල ධර්මයක් ම අප්‍රමාදය මුල් කොට ඇත්තේ ය. අප්‍රමාදය වටා එක් වන්නේ ය. ඒ කුසල් දහම්වලට අප්‍රමාදය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන කරුණ අප්‍රමාදී භික්ෂුව විසින් කැමති විය යුත්තේ ය. මහණෙනි, භික්ෂුව කෙසේ නම් අප්‍රමාදී ව සති සම්බෝජ්ඣංගයන් වඩයි ද? සති සම්බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, අප්‍රමාදී භික්ෂුව මේ අයුරින් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, මේ අයුරින් සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

කුසල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M