සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.2.5. දුතිය ගිලාන සුත්තං

2.2.5. මහා මොග්ගල්ලාන තෙරුන්ගේ ගිලන් වීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ රෝගී ව, දුකට පත් ව, බොහෝ සේ ගිලන් ව ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවෙසෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ වෙත වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙය වදාළ සේක.

“කිම, මොග්ගල්ලානයෙනි, ඔබට ඉවසිය හැක්කේ ද? කිම, යැපිය හැක්කේ ද? කිම, දුක් වේදනා අඩුවෙයි ද, වැඩි නොවෙයි ද? අඩුවීමක් පෙනෙයි ද, වැඩිවීමෙක් නොපෙනෙයි ද?”

“ස්වාමීනී, මා හට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මා තුළ දැඩි වූ දුක් වේදනා වැඩිවෙයි. අඩු නොවෙයි. වැඩිවීමක් පෙනෙයි. අඩුවීමක් නොපෙනෙයි.”

“මොග්ගල්ලානයෙනි, මා විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය. ඒ කවර සතක් ද යත්;

මොග්ගල්ලානයෙනි, සති සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, විරිය සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, ප්‍රීති සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, සමාධි සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

මොග්ගල්ලානයෙනි, මා විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය.”

“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටියහ. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහාණය වී ගියේ ම ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M