සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.2.6. තතිය ගිලාන සුත්තං

2.2.6. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් වීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ රෝගී වූ සේක්, දුකට පත් වූ සේක්, බොහෝ සේ ගිලන් ව වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් මහා චුන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් මහා චුන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“චුන්දයෙනි, ඔබට බොජ්ඣංගයෝ වැටහෙත්වා !”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය. ඒ කවර සතක් ද යත්;

ස්වාමීනී, සති සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, ධම්මවිචය සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, විරිය සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, ප්‍රීති සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, පස්සද්ධි සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, සමාධි සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, උපෙක්ඛා සම්බොජ්ඣංගය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය.”

“චුන්දයෙනි, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය. චුන්දයෙනි, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය.”

ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ මෙය වදාළහ. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහාණය වී ගියේ ම ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය ගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M