මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ රෝගී ව, දුකට පත් ව, බොහෝ සේ ගිලන් ව පිප්ඵලී ගුහාවෙහි වැඩවෙසෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ වෙත වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙය වදාළ සේක.
“කිම, කස්සපයෙනි, ඔබට ඉවසිය හැක්කේ ද? කිම, යැපිය හැක්කේ ද? කිම, දුක් වේදනා අඩුවෙයි ද, වැඩි නොවෙයි ද? අඩුවීමක් පෙනෙයි ද, වැඩිවීමෙක් නොපෙනෙයි ද?”
“ස්වාමීනී, මා හට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මා තුළ දැඩි වූ දුක් වේදනා වැඩිවෙයි. අඩු නොවෙයි. වැඩිවීමක් පෙනෙයි. අඩුවීමක් නොපෙනෙයි.”
“කස්සපයෙනි, මා විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය. ඒ කවර සතක් ද යත්;
කස්සපයෙනි, සති සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, විරිය සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, ප්‍රීති සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, සමාධි සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය වනාහී මා විසින් මැනැවින් පවසන ලද්දේ ය. භාවිත කරන ලද්දේ ය. බහුල කරන ලද්දේ ය. එය විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.
කස්සපයෙනි, මා විසින් මේ සප්ත බොජ්ඣංගයෝ මැනැවින් පවසන ලද්දාහු ය. භාවිත කරන ලද්දාහු ය. බහුල කරන ලද්දාහු ය. ඒවා විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නාහු ය.”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටියහ. ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහාණය වී ගියේ ම ය.
සාදු! සාදු!! සාදු!!!
ගිලාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M