එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අංජන වන මිගදායෙහි වැඩවෙසෙන සේක. එකල්හී කුණ්ඩලිය පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් කුණ්ඩලිය පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයෙනි, මම ආරාමවල ලැගුම් ගන්නෙම් පිරිස් අතර වාද කරමින් හැසිරෙන්නෙක්මි. භවත් ගෞතමයෙනි, උදය ආහාර අනුභව කළ මට පසුබත් කාලයෙහි මේ සිරිත වෙයි. ආරාමයෙන් ආරාමයට, උද්‍යානයෙන් උද්‍යානයට මම සක්මන් කරමි. අනුව හැසිරෙමි. ඒ මම ‘මෙසේ වාදයන්ගෙන් නිදහස් වන්නේ ය. මෙසේ වාද කරන්නේ ය’ යන අනුසස් මතුකොට කථා කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් එහිදී දකිමි. භවත් ගෞතමයාණෝ කුමක් අනුසස් කොට වාසය කරත් ද?”
“කුණ්ඩලිය, තථාගතයන් වහන්සේ විද්‍යා විමුක්ති ඵල ආනිශංස කොට ගෙන වාසය කරති.”
“භවත් ගෞතමයෙනි, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද විද්‍යා විමුක්තිය සම්පූර්ණ වන්නේ?”
“කුණ්ඩලිය, සප්ත බොජ්ඣංගයන් භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් විද්‍යා විමුක්තිය සම්පූර්ණ වන්නේ ය.”
“භවත් ගෞතමයෙනි, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වන්නේ?”
“කුණ්ඩලිය, සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් සප්ත බොජ්ඣංගය සම්පූර්ණ වන්නේ ය.”
“භවත් ගෞතමයෙනි, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ?”
“කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ ය.”
“භවත් ගෞතමයෙනි, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ?”
“කුණ්ඩලිය, ඉන්ද්රිය සංවරය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ ය.
කුණ්ඩලිය, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද ඉන්ද්රිය සංවරය ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කරයි ද?
කුණ්ඩලිය, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක මනාප අරමුණට ආශා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය වෙනස් නොවී සිටියේ වෙයි. සිත සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි. ඇසින් ම අමනාප රූපයක් දැක නොහැකිලෙයි. නොසංසුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි. සිත ත් සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.
තව ද කුණ්ඩලිය, භික්ෂුව කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන මනාප අරමුණට ආශා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය වෙනස් නොවී සිටියේ වෙයි. සිත සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි. මනසින් ම අමනාප අරමුණක් දැන නොහැකිලෙයි. නොසංසුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි. සිත ත් සිටියේ වෙයි. අධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.
කුණ්ඩලිය, යම් කලෙක ඇසෙන් රූපයක් දැක මනාප – අමනාප රූපයන් පිළිබඳ ව භික්ෂුවගේ කය නොවෙනස් ව සිටියේ වෙයි ද, සිත සිටියේ වෙයි ද, ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි ද, මැනැවින් මිදුණේ වෙයි ද, කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන මනාප – අමනාප අරමුණු පිළිබඳ ව භික්ෂුවගේ කය නොවෙනස් ව සිටියේ වෙයි ද, සිත සිටියේ වෙයි ද, ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි ද, මැනැවින් මිදුණේ වෙයි ද, කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද ඉන්ද්රිය සංවරය ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරයි.
කුණ්ඩලිය, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි ද? කුණ්ඩලිය, මෙහිලා භික්ෂුව කාය දුශ්චරිතය බැහැර කොට කාය සුචරිතය වඩයි. වචී දුශ්චරිතය බැහැර කොට වචී සුචරිතය වඩයි. මනෝ දුශ්චරිතය බැහැර කොට මනෝ සුචරිතය වඩයි. කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි.
කුණ්ඩලිය, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කරත් ද? කුණ්ඩලිය මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව, ලෝකයෙහි ඇලීම ත්, ගැටීම ත් දුරු කොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව, ලෝකයෙහි ඇලීම ත්, ගැටීම ත් දුරු කොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කරති.
කුණ්ඩලිය, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද, සප්ත බොජ්ඣංගයෝ විද්‍යා විමුක්තිය සම්පූර්ණ කරත් ද? කුණ්ඩලිය, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. කුණ්ඩලිය. මෙසේ භාවිත කරන ලද, මෙසේ බහුල කරන ලද, සප්ත බොජ්ඣංගයෝ විද්‍යා විමුක්තිය සම්පූර්ණ කරති.”
මෙසේ වදාළ කල්හී කුණ්ඩලිය පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
කුණ්ඩලිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M