සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.7. කූටාගාර සුත්තං

2.1.7. උස් මුදුන් වහළ ඇති නිවස ගැන වදාළ දෙසුම

මහණෙනි, එය මෙබඳු දෙයකි. උස් මුදුන් වහළ ඇති නිවසක යම්කිසි පරාල ඇද්ද, ඒ සියල්ල මුදුනට නැමී තිබෙයි. මුදුනට නැඹුරු ව තිබෙයි. මුදුනට බර වී තිබෙයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ සප්ත බොජ්ඣංගයන් වඩන්නේ කෙසේ ද? සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි.

මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ, නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

කූටාගාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M