සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.5. භික්ඛු සුත්තං

2.1.5. භික්ෂුවකට වදාළ දෙසුම

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ‘බොජ්ඣංග, බොජ්ඣංග’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, බොජ්ඣංග යැයි කියනු ලබන්නේ කුමන කරුණු මත ද?”

“භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ ය යන කරුණෙන් බොජ්ඣංග යැයි කියනු ලැබේ. භික්ෂුව, මෙහිලා භික්ෂුවක් කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි.

මේ සප්ත බොජ්ඣංගයන් වඩන ඔහුගේ සිත කාමාශ්‍රවයෙනුත් නිදහස් වෙයි. භවාශ්‍රවයෙනුත් සිත නිදහස් වෙයි. අවිද්‍යා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙයි. නිදහස් වූ කල්හී නිදහස් වූයේ ය යන ඥානය ඇතිවෙයි. ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ යි දැනගනියි.

භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ ය යන කරුණෙන් බොජ්ඣංග යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M