සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.4. වත්ථ සුත්තං

2.1.4. වස්ත්‍රය උපමා කොට වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙන සේක. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.

“ආයුෂ්මත්නි, මේ බොජ්ඣංගයෝ සතකි. ඒ කවර සතක් ද යත්, සතිසම්බොජ්ඣංගය ය, ධම්මවිචය සම්බොජ්ඣංගය ය, විරිය සම්බොජ්ඣංගය ය, පීති සම්බොජ්ඣංගය ය, පස්සද්ධි සම්බොජ්ඣංගය ය, සමාධි සම්බොජ්ඣංගය ය, උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. ආයුෂ්මත්නි, මේ වනාහී සප්ත බොජ්ඣංගයෝ ය.

ආයුෂ්මත්නි, මේ සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් පෙරවරුවෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් පෙරවරුවෙහි වාසය කරමි. යම් යම් බොජ්ඣංගයකින් මධ්‍යාහ්නයෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් මධ්‍යාහ්නයෙහි වාසය කරමි. යම් යම් බොජ්ඣංගයකින් සවස් වරුවෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් සවස් වරුවෙහි වාසය කරමි.

ආයුෂ්මත්නි, ඉදින් මෙසේ සති සම්බොජ්ඣංගය මා තුළ වෙයි නම්, එය අප්‍රමාණ ලෙස ඇතැයි මට සිතෙයි. එය බලවත් සේ ඇතැයි මට සිතෙයි. එය පවතින විට පවතියි යැයි දැනගනිමි. ඉදින් මා තුළින් බොජ්ඣංගය නැති වෙයි නම්, මේ හේතුවෙන් මාගේ බොජ්ඣංගය නැති වූයේ යැයි දැනගනිමි. ….(පෙ)…. ආයුෂ්මත්නි, ඉදින් මෙසේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මා තුළ වෙයි නම්, එය අප්‍රමාණ ලෙස ඇතැයි මට සිතෙයි. එය බලවත් සේ ඇතැයි මට සිතෙයි. එය පවතින විට පවතියි යැයි දැනගනිමි. ඉදින් මා තුළින් බොජ්ඣංගය නැති වෙයි නම්, මේ හේතුවෙන් මාගේ බොජ්ඣංගය නැති වූයේ යැයි දැනගනිමි.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. රජෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ නොයෙක් වර්ණයෙන් සායම් පොවන ලද වස්ත්‍රයෙන් පිරුණු පෙට්ටගමක් වෙයි ද, ඔහු පෙරවරුවෙහි යම් යම් වස්ත්‍ර යුගලක් පොරවන්නට කැමති වෙයි ද, ඒ ඒ වස්ත්‍ර යුගල ම පෙරවරුවෙහි පොරවයි. යම් යම් වස්ත්‍ර යුගලක් දහවලෙහි පොරවන්නට කැමති වෙයි ද, ඒ ඒ වස්ත්‍ර යුගල ම දහවල්හි පොරොවයි. යම් යම් වස්ත්‍ර යුගලක් සවස් වරුවෙහි පොරොවන්නට කැමැති වෙයි ද, ඒ ඒ වස්ත්‍ර යුගල ම සවස් වරුවෙහි පොරොවයි.

එසෙයින් ම ආයුෂ්මත්නි, මම මේ සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් පෙරවරුවෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් පෙරවරුවෙහි වාසය කරමි. යම් යම් බොජ්ඣංගයකින් මධ්‍යාහ්නයෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් මධ්‍යාහ්නයෙහි වාසය කරමි. යම් යම් බොජ්ඣංගයකින් සවස් වරුවෙහි වාසය කරන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් සවස් වරුවෙහි වාසය කරමි.

ආයුෂ්මත්නි, ඉදින් මෙසේ සති සම්බොජ්ඣංගය මා තුළ වෙයි නම්, එය අප්‍රමාණ ලෙස ඇතැයි මට සිතෙයි. එය බලවත් සේ ඇතැයි මට සිතෙයි. එය පවතින විට පවතියි යැයි දැනගනිමි. ඉදින් මා තුළින් බොජ්ඣංගය නැති වෙයි නම්, මේ හේතුවෙන් මාගේ බොජ්ඣංගය නැති වූයේ යැයි දැනගනිමි. ….(පෙ)…. ආයුෂ්මත්නි, ඉදින් මෙසේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මා තුළ වෙයි නම්, එය අප්‍රමාණ ලෙස ඇතැයි මට සිතෙයි. එය බලවත් සේ ඇතැයි මට සිතෙයි. එය පවතින විට පවතියි යැයි දැනගනිමි. ඉදින් මා තුළින් බොජ්ඣංගය නැති වෙයි නම්, මේ හේතුවෙන් මාගේ බොජ්ඣංගය නැති වූයේ යැයි දැනගනිමි.

සාදු! සාදු!! සාදු!!!

වත්ථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M