සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.5.9. සිනේරු සුත්තං

12.5.9. සිනේරු පර්වතය මුල්කොට වදාළ දෙසුම

“මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් සිනේරු පර්වතරාජයා පාමුල මුං ඇට තරමේ ගල් කැට සතක් පෙළට තබන්නේ ය. මහණෙනි, එය කිමෙකැයි හඟිව් ද? බහුතර ව ඇත්තේ කුමක් ද? පෙළට තබන ලද මුං ඇට තරමේ යම් ගල් ඇට සතක් ඇද්ද, ඒවා ද? සිනේරු පර්වතරාජයා ද?”

“ස්වාමීනී, යම් මේ සිනේරු පර්වත රාජයා වෙයි ද, මෙය ම ඉතා බොහෝ ය. මුං ඇට තරමේ ගල් කැට සතක් පෙළට තබන ලද්දේ ද, මෙය ඉතා සුළු ය. පෙළට තබන ලද මුං ඇට තරමේ ගල් කැට සත සිනේරු පර්වත රාජයා හා සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහැකි ය. සැසඳීමකට ද ගත නොහැකි ය. ඉතා කුඩා කොටසකට ද ගත නොහැකි ය.”

“එසෙයින් ම මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය කළ දිට්ඨිසම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ ක්ෂය කරන ලද, ගෙවන ලද දුකක් ඇද්ද, මෙය ම ඉතාමත් බොහෝ ය. ඉතුරු වී ඇති දුකක් ඇද්ද, එය ඉතාමත් ම ස්වල්පය ය. යමෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක හටගැනීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ඒ ආර්ය ශ්‍රාවකයා හට යම් මේ සත් වතාවක් පරම කොට ඉපදීමක් ඇද්ද, මේ ඉපදීමේ දුක, ක්ෂය කරන ලද, ගෙවන ලද පළමු දුක්ඛස්කන්ධය හා සසඳා බලද්දී මෙය සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සිනේරු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M