සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.5.8. දුතිය ඡිග්ගල සුත්තං

12.5.8. සිදුර මුල්කොට වදාළ දෙවෙනි දෙසුම

“මහණෙනි, එය මෙබඳු දෙයකි. මේ මහා පොළොව එක ම ජලාශයක් වන්නේ ද, එහි පුරුෂයෙක් එක සිදුරක් ඇති වියදණ්ඩක් දමන්නේ ය. ඒ වියදණ්ඩ පෙරදිගින් හමන සුළඟින් බටහිරට පමුණුවන්නේ ය. බටහිරින් හමන සුළඟින් පෙරදිගට පමුණුවන්නේ ය. උතුරින් හමන සුළඟින් දකුණට පමුණුවන්නේ ය. දකුණින් හමන සුළඟින් උතුරට පමුණුවන්නේ ය. ඒ ජලාශයෙහි කණ කැස්බෑවෙක් සිටියි. ඒ කැස්බෑවා සියවසක් සියවසක් ඇවෑමෙන් වරක් වරක් බැගින් උඩට එන්නේ ය.

මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඒ කණ කැස්බෑවා සියවසක් සියවසක් ඇවෑමෙන්, වරක් වරක් බැගින් උඩට එද්දී ඒ විය දණ්ඩේ ඇති තනි සිදුරෙන් සිය ගෙල පිවිසවන්නේ ද?”

“ස්වාමීනී, ඒ කණ කැස්බෑවා සියවසක් සියවසක් ඇවෑමෙන්, වරක් වරක් බැගින් උඩට එද්දී ඒ විය දණ්ඩේ ඇති තනි සිදුරෙන් සිය ගෙල පිවිසවන්නේ යන යමක් ඇද්ද, මෙය ඉතාම ත් ම දිගු කලක් ඇවෑමෙන්, ඉතා දුර්ලභ ව සිදුවිය හැක්කකි.”

“මහණෙනි, මිනිසත් බව ලබයි යන යමක් ඇද්ද, මෙය ද එසෙයින් ම ඉතාමත් ම දිගුකලක් ඇවෑමෙන් ලැබෙන දෙයකි. මහණෙනි, අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ ලෝකයෙහි උපදියි යන යමක් ඇද්ද, මෙය ද එසෙයින් ම ඉතාමත් දිගු කලකින් පසු ලැබෙන දෙයකි. මහණෙනි, තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය ලොවෙහි බබලයි යන යමක් ඇද්ද, මෙය ද එසෙයින් ම ඉතාමත් දිගු කලකින් පසු ලැබෙන දෙයකි.

මහණෙනි, ඔහු විසින් මේ මිනිසත් බව ලබන ලද්දේ ය. අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ ත් ලෝකයෙහි උපන්නේ ය. තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනය ත් ලෝකයෙහි බබලයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ඡිග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M