“මහණෙනි, යම් සේ පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදණ්ඩක් මහා සාගරයට දමන්නේ ය. ඒ සාගරයෙහි කණ කැස්බෑවෙක් සිටියි. ඒ කැස්බෑවා සියවසක් සියවසක් ඇවෑමෙන් එක් එක් වරක් උඩට එයි. මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඒ කණ කැස්බෑවා සියවසක් සියවසක් ඇවෑමෙන් වරක් වරක් බැගින් උඩට එන්නේ, වියදණ්ඩෙහි අර එක සිදුරෙන් ඔහුගේ ගෙල පිවිසවන්නේ ද?”
“ඉදින් ස්වාමීනී, ඉතාමත් ම අතිදීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් විටෙක විය හැක්කේ ය.”
“මහණෙනි, වසර සියයක් සියයක් ඇවෑමෙන් වරක් වරක් බැගින් උඩට එන ඒ කණ කැස්බෑවා ඒ වියදණ්ඩෙහි ඇති එක සිදුරෙහි සිය ගෙල පිවිසවන්නේ ය යන කරුණ ඉක්මනින් වුවත් සිදුවිය හැක්කේ ය. නමුත් මහණෙනි, එක් වරක් අපායෙහි ඉපදුණු අඥානයා විසින් දුක සේ හෝ මිනිසත් බව යළි ලබයි යන කරුණ මම නොදකිමි. එයට හේතුව කුමක් ද? මහණෙනි, එහි ධර්මයෙහි හැසිරීමක් නැත්තේ ය. පින් කිරීමක් නැත්තේ ය. මහණෙනි, එහි ඔවුනොවුන් කා ගැනීමක් පවතියි. දුර්වලයන් කා ගැනීමක් පවතියි. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යය නොදැක්ක බැවිනි. ඒ කවර සතර සත්‍යයක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඡිග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M