එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“යමු මහණෙනි, පටිභාන කූටය යම් තැනක ඇද්ද, දිවා විහරණය පිණිස එතැනට යන්නෙමු.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ පටිභාන කූටය වෙත එළැඹි සේක. එහිදී එක්තරා භික්ෂුවක් පටිභාන කූටයෙහි මහත් වූ ප්රපාතයක් දුටුවේ ය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මෙය ඒකාන්තයෙන් ම මහා ප්රපාතයකි. ස්වාමීනි, මෙය ඒකාන්තයෙන් ම ඉතා මහත් ප්රපාතයකි. ස්වාමීනී, මේ ප්‍රපාතයට ත් වඩා වූ ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ ප්රපාතයක් ඇත්තේ ද?”
“භික්ෂුව, මේ ප්‍රපාතයට ත් වඩා ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ ප්රපාතයක් ඇත්තේ ය.”
“ස්වාමීනී, මේ ප්‍රපාතයට ත් වඩා ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ ප්රපාතය කුමක් ද?”
“භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති.
ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලුණාහු, ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලුණාහු, මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලුණාහු, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලුණාහු, ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති. ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති. මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති. සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති.
ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, ඉපදීම නම් ප්‍රපාතයට ත් වැටෙති. ජරාව නම් ප්‍රපාතයට ත් වැටෙති. මරණය නම් ප්‍රපාතයට ත් වැටෙති. සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නම් ප්‍රපාතයට ත් වැටෙති. ඔවුහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකවලින්, වැළපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් නොවෙති. දුකින් නිදහස් නොවෙති යැයි කියමි.
භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙති. ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙති. මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙති. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙති.
ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලුණාහු, ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලුණාහු, මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලුණාහු, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලුණාහු, ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති.
ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, ඉපදීම නම් ප්‍රපාතයට ත් නොවැටෙති. ජරාව නම් ප්‍රපාතයට ත් නොවැටෙති. මරණය නම් ප්‍රපාතයට ත් නොවැටෙති. සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නම් ප්‍රපාතයට ත් නොවැටෙති. ඔවුහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකවලින්, වැළපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙති. දුකින් නිදහස් වෙති යැයි කියමි.
එහෙයින් භික්ෂුව, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පපාත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M