එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ කලන්දක නිවාපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මෙය පෙර සිදුවූවකි. එක්තරා පුරුෂයෙක් ‘ලෝක චින්තා සිතන්නෙමි’ යි රජගහනුවරින් නික්ම සුමාගවා පොකුණ අසලට පැමිණියේ ය. පැමිණ ලෝක චින්තා සිතමින් සුමාගවා පොකුණු තෙර හිඳගත්තේ ය. මහණෙනි, ඒ පුරුෂයා සුමාගවා පොකුණෙහි නෙළුම් දණ්ඩකට පිවිසෙන්නා වූ සිව්රඟ සේනාවක් දැක්කේ ය. දැක, ඔහුට මේ අදහස ඇතිවූයේ ය. ‘මම නම් උමතු බවට පත්වුණෙමි. මම නම් සිහියෙන් තොර වූයෙමි. ලෝකයෙහි යමක් නැද්ද, එය මා විසින් දකින ලද්දේ ය’ යි.
ඉක්බිති මහණෙනි, ඒ පුරුෂයා රජගහ නුවරට පිවිස මහාජනකායට දැනුම් දුන්නේ ය. “හිමියනි, මම නම් උමතු බවට පත්වුණෙමි. හිමියනි, මම නම් සිහියෙන් තොර වූයෙමි. ලෝකයෙහි යමක් නැද්ද, එය මා විසින් දකින ලද්දේ ය” යි.
“එම්බා පුරුෂය, නුඹ විසින් යමක් දකින ලද්දේ ද, ලෝකයෙහි නැති ඒ දේ කුමක් ද? නුඹ කෙසේ නම් උමතු වූවෙහි ද? කෙසේ නම් සිහිය පහ වූවෙහි ද?”
“හිමියනි, මෙහි මම ‘ලෝක චින්තා සිතන්නෙමි’ යි රජගහනුවරින් නික්ම සුමාගවා පොකුණ අසලට පැමිණියෙමි. පැමිණ ලෝක චින්තා සිතමින් සුමාගවා පොකුණු තෙර හිඳගත්තෙමි. හිමියෙනි, ඒ මම සුමාගවා පොකුණෙහි නෙළුම් දණ්ඩකට පිවිසෙන්නා වූ සිව්රඟ සේනාවක් දැක්කෙමි. ‘හිමියනි, මෙසේ මම උමතු බවට පත්වුණෙමි. සිහියෙන් තොර වූයෙමි. මා විසින් යමක් දකින ලද්දේ ද, ලෝකයෙහි නැත්තා වූ ඒ දේ මෙය යි.’”
“එම්බා පුරුෂය, ඒකාන්තයෙන් නුඹ උම්මත්තකයෙකි. ඒකාන්තයෙන් සිහිය පහ වූවෙකි. නුඹ විසින් යමක් දකින ලද්දේ ද, ලෝකයෙහි මෙය නැත”යි.
මහණෙනි, ඒ පුරුෂයා සිදු වූ දෙයක් ම දැක්කේ ය. සිදු නොවූ දෙයක් නොවෙයි.
මහණෙනි, මෙය පෙර සිදුවූවකි. දෙවියන් හා අසුරයන් අතර සංග්‍රාමයක් එළඹ සිටියේ ය. ඒ යුද්ධයෙහි දී මහණෙනි, දෙවියෝ දින්නාහු ය. අසුරයෝ පැරදුණාහු ය. මහණෙනි, පරාජිත අසුරයෝ වනාහී බියට පත් ව, දෙවියන් ව මුලාවට පත් කරමින් ම නෙළුම් දණ්ඩෙන් අසුර පුරයට පිවිසුණාහු ය.
එහෙයින් මහණෙනි, ලෝක චින්තා නොසිතව්. එනම්; ‘ලෝකය සදාකාලික ය’ කියා හෝ, ‘ලෝකය සදාකාලික නැත’ කියා හෝ, ‘ලෝකය අන්තවත් ය’ කියා හෝ, ‘ලෝකය අනන්තවත් ය’ කියා හෝ, ‘එය ජීවය, එය ශරීරය ය’ කියා හෝ, ‘ජීවය අනිකකි, ශරීරය අනිකකි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු සිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු සිටියි, නොසිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටියි, නොම නොසිටියි’ කියා හෝ ය.
එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ චින්තාවෝ යහපතින් යුක්ත නොවෙති. නිවන් මගට මුල් නොවෙති. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතිත්. විරාගය පිණිස නොපවතිත්. නිරෝධය පිණිස නොපවතිත්. සංසිඳීම පිණිස නොපවතිත්. විශිෂ්ට ඥානය පිණිස නොපවතිත්. සත්‍යාවබෝධය පිණිස නොපවතිත්. නිවන පිණිස නොපවතිත්.
මහණෙනි, ඔබලා සිතන්නහු නම් මෙය දුක යැයි සිතව්. මෙය දුකෙහි හටගැනීම යැයි සිතව්. මෙය දුක් නිරුද්ධ වීම යැයි සිතව්. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි සිතව්. එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ චින්තාවෝ යහපතින් යුක්ත වෙති. මෙය නිවන් මගට මුල් වෙති. මෙය අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිත්. විරාගය පිණිස පවතිත්. නිරෝධය පිණිස පවතිත්. සංසිඳීම පිණිස පවතිත්. විශිෂ්ට ඥානය පිණිස පවතිත්. සත්‍යාවබෝධය පිණිස පවතිත්. නිවන පිණිස පවතිත්.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
චින්තා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M