සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.5.3. පරිළාහ සුත්තං

12.5.3. පරිළාහ නම් නිරය මුල්කොට වදාළ දෙසුම

“මහණෙනි, ‘මහා පරිළාහ’ නම් නරකාදියක් ඇත්තේ ය. එහි ඇසින් යම්කිසි රූපයක් දකියි නම්, අනිෂ්ට වූ රූපයක් ම දකියි; ඉෂ්ට රූපයක් නොවෙයි. නොකැමැති රූපයක් ම දකියි; කැමැති රූපයක් නොවෙයි. අමනාප රූපයක් ම දකියි; මනාප රූපයක් නොවෙයි. කනින් යම්කිසි ශබ්දයක් අසයි නම්, ….(පෙ)…. නාසයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරයි නම්, ….(පෙ)…. දිවෙන් යම්කිසි රසයක් විඳියි නම්, ….(පෙ)…. කයෙන් යම්කිසි පහසක් ලබයි නම්, ….(පෙ)…. මනසෙන් යම්කිසි අරමුණක් දැනගනියි නම්, අනිෂ්ට වූ අරමුණක් ම දැනගනියි; ඉෂ්ට අරමුණක් නොවෙයි. නොකැමැති අරමුණක් ම දැනගනියි; කැමැති අරමුණක් නොවෙයි. අමනාප අරමුණක් ම දැනගනියි; මනාප අරමුණක් නොවෙයි.”

මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, එය ඒකාන්තයෙන් ම මහා පරිළාහයකි. ස්වාමීනි, එය ඒකාන්තයෙන් ම ඉතා මහත් පරිළාහයකි. ස්වාමීනී, මේ පරිළාහයට ත් වඩා ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ පරිළාහයක් ඇත්තේ ද?”

“භික්ෂුව, මේ පරිළාහයට ත් වඩා ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ පරිළාහයක් ඇත්තේ ය.”

“ස්වාමීනී, මේ පරිළාහයට ත් වඩා ඉතා මහත් වූ ත්, ඉතාමත් භයානක වූ ත් අන්‍ය වූ පරිළාහය කුමක් ද?”

“භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකරත් ද, ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙති.

ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලී සිට, ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලී සිට, මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලී සිට, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලී සිට, ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් රැස් කරති. ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති. මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කරති. සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් පිණිස පවතින්නා වූ ත්සංස්කාරයන් රැස් කරති.

ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් කොට, ඉපදීම නැමැති පරිදාහයෙනුත් මුළුමනින් ම දැවී යති. ජරාව නැමැති පරිදාහයෙනුත් මුළුමනින් ම දැවී යති. මරණය නැමැති පරිදාහයෙනුත් මුළුමනින් ම දැවී යති. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් නැමැති පරිදාහයෙනුත් මුළුමනින් ම දැවී යති. ඔවුහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකවලින්, වැළපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් නොවෙති. දුකින් නිදහස් නොවෙති යැයි කියමි.

භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි ත් නොඇලෙති. ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි ත් නොඇලෙති. මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි ත් නොඇලෙති. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි ත් නොඇලෙති.

ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලී සිට, ජරාව පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලී සිට, මරණය පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලී සිට, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම පිණිස පවතින්නා වූ සංස්කාරයන් කෙරෙහි නොඇලී සිට, ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකරති.

ඔවුහු ඉපදීම පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, ජරාව පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, මරණය පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින්නා වූ ත් සංස්කාරයන් රැස් නොකොට, ඉපදීම නැමැති පරිදාහයෙනුත් දැවී නොයති. ජරාව නැමැති පරිදාහයෙනුත් දැවී නොයති. මරණය නැමැති පරිදාහයෙනුත් දැවී නොයති. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් නැමැති පරිදාහයෙනුත් දැවී නොයති. ඔවුහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකවලින්, වැළපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙති. දුකින් නිදහස් වෙති යැයි කියමි.

එහෙයින් භික්ෂුව, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පරිළාහ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M