සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.4.9. ඉන්දඛීල සුත්තං

12.4.9. ඉන්ද්‍රඛීලය උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක ය’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, ‘මෙය දුක හටගැනීම ය’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම ය’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, මෙය දුක් නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, ඔවුහු අන්‍ය වූ ශ්‍රමණයෙකුගේ වේවා, බ්‍රාහ්මණයෙකුගේ වේවා ‘මේ භවත් තෙමේ ඒකාන්තයෙන් නම්, දැනීමක් දනියි වත් ද? දැකීමක් දකියි වත් ද?’ යි මුහුණ බලති. මහණෙනි, යම් සේ සුළඟට හසු වූ හිඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ ඉතා සැහැල්ලුව තිබෙද්දී, සම භූමිභාගයේ තබන ලද්දේ පෙරදිගින් හමන සුළඟ එය බටහිරට ගෙන යයි. බටහිරින් හමන සුළඟ එය පෙරදිගට ගෙන යයි. උතුරින් හමන සුළඟ එය දකුණට ගෙන යයි. දකුණින් හමන සුළඟ එය උතුරට ගෙන යයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, කපු පුළුන්වල ඇති සැහැල්ලු බව යි.

එසෙයින් ම මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, ….(පෙ)…. මෙය දුක් නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් නොදනිත් ද, ඔවුහු අන්‍ය වූ ශ්‍රමණයෙකුගේ වේවා, බ්‍රාහ්මණයෙකුගේ වේවා ‘මේ භවත් තෙමේ ඒකාන්තයෙන් නම්, දැනීමක් දනියි වත් ද? දැකීමක් දකියි වත් ද?’ යි මුහුණ බලති. එයට හේතුව කුමක් ද? මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් නොදැක්ක නිසාවෙනි.

මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් දනිත් ද, ….(පෙ)…. මෙය දුක් නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් දනිත් ද, ඔවුහු අන්‍ය වූ ශ්‍රමණයෙකුගේ වේවා, බ්‍රාහ්මණයෙකුගේ වේවා ‘මේ භවත් තෙමේ ඒකාන්තයෙන් නම්, දැනීමක් දනියි වත් ද? දැකීමක් දකියි වත් ද?’ යි මුහුණ නොබලති. මහණෙනි, එය මෙබඳු දෙයකි. යකඩ කණුවක් හෝ ඉන්ද්‍රඛීලයක් හෝ ගැඹුරට සාරා මැනැවින් සිටුවා නොසොල්වන පරිදි, කම්පා නොවෙන පරිදි ඇද්ද, ඉදින් පෙරදිගින් ඉතා දැඩි වැසි සහිත සුළඟක් එන්නේ නමුත්, එය කම්පා නොවෙයි; නොසැලෙයි; නොවෙව්ලයි. ඉදින් බටහිර දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් දකුණු දිශාවෙනුත් ඉතා දැඩි වැසි සහිත සුළඟක් එන්නේ නමුත්, එය කම්පා නොවෙයි; නොසැලෙයි; නොවෙව්ලයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, ඉන්ද්‍රඛීලය ගැඹුරු ලෙස සාරා මනාකොට සිටුවන ලද බැවිනි.

එසෙයින් ම මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් දනිත් ද, ….(පෙ)…. මෙය දුක් නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් දනිත් ද, ඔවුහු අන්‍ය වූ ශ්‍රමණයෙකුගේ වේවා, බ්‍රාහ්මණයෙකුගේ වේවා ‘මේ භවත් තෙමේ ඒකාන්තයෙන් නම්, දැනීමක් දනියි වත් ද? දැකීමක් දකියි වත් ද?’ යි මුහුණ නොබලති. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් මැනැවින් දකින ලද හෙයිනි. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඉන්දඛීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M