මහණෙනි, යම්තාක් මේ සඳහිරු ලෝකයෙහි පහළ නොවෙයි ද, ඒ තාක් මහත් වූ ආලෝකයක, මහත් වූ එළියක පහළ වීම නොවෙයි. එකල්හී ඝන අඳුර ම වෙයි. බලවත් ඝන අඳුර ම වෙයි. ඒ තාක් ම රෑ දහවල් නොපෙනෙයි. මාස, අඩමාස නොපෙනෙයි. ඍතු වෙනස, වර්ෂ නොපෙනෙයි. මහණෙනි, යම් කලෙක සඳ හිරු ලෝකයෙහි පහළ වෙයි ද, එකල්හී මහත් වූ ආලෝකයක, මහත් වූ එළියක පහළ වීම වෙයි. එකල්හී දැඩි අඳුරක් නැත්තේ ය. ඝනාන්ධකාරයක් නැත්තේ ය. එකල්හී රෑ දහවල් පෙනෙයි. මාස, අඩමාස පෙනෙයි. ඍතු වෙනස, වර්ෂ පෙනෙයි.
එසෙයින් ම මහණෙනි, යම්තාක් ලෝකයෙහි අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ නූපදියි ද, ඒ තාක් ම මහත් වූ ආලෝකයක, මහත් වූ එළියක පහළ වීමක් නොවෙයි. එකල්හී අන්ධකාරයක් ම වෙයි. ඝනාන්ධකාරයක් ම වෙයි. ඒ තාක් ම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව ප්‍රකාශ කිරීමක් නොවෙයි. දේශනා කිරීමක් නොවෙයි. පැණවීමක් නොවෙයි. පිහිටුවීමක් නොවෙයි. විවෘත කිරීමක් නොවෙයි. බෙදා විස්තර කිරීමක් නොවෙයි. ඉස්මතු කිරීමක් නොවෙයි.
මහණෙනි, යම් කලෙක ලෝකයෙහි අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ උපදියි ද, එකල්හී මහත් වූ ආලෝකයක, මහත් වූ එළියක පහළ වීමක් වෙයි. එකල්හී අන්ධකාරයක් නැත්තේ ය. ඝනාන්ධකාරයක් නැත්තේ ය. එකල්හී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව ප්‍රකාශ කිරීම වෙයි. දේශනා කිරීම වෙයි. පැණවීම වෙයි. පිහිටුවීම වෙයි. විවෘත කිරීම වෙයි. බෙදා විස්තර කිරීම වෙයි. ඉස්මතු කිරීම වෙයි. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සුරියූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M