සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.4.6. පාණ සුත්තං

12.4.6. ප්‍රාණීන් පිළිබඳ ව වදාළ දෙසුම

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් මේ දඹදිව තෘණ, දැව, අතු, දඬු ආදිය සැස එක් ගොඩක් කරන්නේ ය. එක් ගොඩක් කොට උල් කරන්නේ ය. උල් කොට මහා සමුද්‍රයෙහි යම් විශාල වූ ප්‍රාණීහු වෙත් ද, ඔවුන් විශාල හුල්වල අමුණන්නේ ය. මහා සමුද්‍රයෙහි යම් මධ්‍යම ප්‍රාණීහු වෙත් ද, ඔවුන් මධ්‍යම හුල්වල අමුණන්නේ ය. මහා සමුද්‍රයෙහි යම් කුඩා ප්‍රාණීහු වෙත් ද, ඔවුන් කුඩා හුල්වල අමුණන්නේ ය. මහණෙනි, මහා සමුද්‍රයෙහි ගොරෝසු ප්‍රාණීහුත් අල්ලා නොගන්නා ලද්දාහු ය. එසේ නමුත් මේ ජම්බුද්වීපයෙහි තෘණ, දඬු, අතු පත් ආදිය ක්ෂය වීමට, අවසන් වීමට යන්නේ ය. එහෙත් මහණෙනි, මහා සමුද්‍රයෙහි හුල්වල අමුණන්නට නොහැකි යම් කුඩා කුඩා ප්‍රාණීහු වෙත් ද, ඔවුන් එයට වඩා ඉතා බොහෝ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, ආත්මභාවයෙහි ඇති සියුම් බව යි. මහණෙනි, මෙසේ අපාය මහත් ය.

මහණෙනි, යමෙක් මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, මෙය දුක හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, මෙය දුක නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයා මෙසේ මහත් වූ අපායෙන් නිදහස් වූයේ ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M