සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.4.5. සත්තිසත සුත්තං

12.4.5. ආයුධ සියය මුල්කොට වදාළ දෙසුම

මහණෙනි, එය මෙබඳු දෙයකි. සිය වසක් ආයුෂ ඇති, සිය වසක් ජීවත්වන සුළු පුරුෂයෙක් වෙයි. ඔහුට මෙසේ කියත් නම්, ‘එම්බා පුරුෂය, එව. උදේ වරුවෙහි ඔබට ආයුධ සියයකින් පහරදෙන්නාහ. දහවල් වරුවට ත් ආයුධ සියයකින් පහර දෙන්නාහ. සවස් වරුවට ත් ආයුධ සියයකින් පහර දෙන්නාහ. එම්බා පුරුෂය, මෙසේ ඒ ඔබ වනාහී දවසක් දවසක් පාසා ආයුධ සියය බැගින් තුන් වතාවක් පහර දෙනු ලබන්නේ සිය වසක් ආයු ඇති ව, සිය වසක් ජීවත් වී, වසර සියයක් ඇවෑමෙන් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන්නෙහි ය’ යි මහණෙනි, සත්‍යාවබෝධයෙහි යහපත දකිනා කුල පුත්‍රයෙකු විසින් සසුන්ගත වන්නට සුදුසු ම ය. ඒ මක් නිසා ද යත්; මහණෙනි, මේ සසර කෙළවරක් දැක්ක නොහැක්කේ ය. ආයුධයෙන් පහර කෑ වාර කොතෙක් ද කියා, කඩුවෙන් පහර කෑ වාර කෙතෙක් ද කියා ආරම්භක කෙළවරක් නොපෙනෙයි.

මහණෙනි, මෙය මෙසේ ත් වන්නේ ය. මහණෙනි, දුකින් යුක්ත ව, දොම්නසින් යුක්ත ව, චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමක් මම නොකියමි. එනමුදු මහණෙනි, මම සැපයෙන් යුක්ත ව, සොම්නසින් යුක්ත ව චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම ගැන කියමි. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සත්තිසත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M