සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.4.3. දණ්ඩ සුත්තං

12.4.3. දණ්ඩක් මුල්කොට වදාළ දෙසුම

මහණෙනි, යම් සේ දඬු කැබැල්ලක් අහස උඩට වීසි කරන ලද්දේ, එක් වරක් මුලිනුත් වැටෙයි. තව වරක් මැදිනුත් වැටෙයි. තව වරක් අගිනුත් වැටෙයි. එසෙයින් ම මහණෙනි, අවිද්‍යාවෙන් වසාගත්, තෘෂ්ණාවට බැඳීගිය සත්වයෝ සසර දුවඇවිදින්නාහු, සැරිසරන්නාහු එක් වරක් මෙලොවින් එලොවට ත් යති. තව වරක් එලොවින් මෙලොවට ත් එති. එයට හේතුව කුමක් ද? මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් නොදැක්ක නිසාවෙනි. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දණ්ඩ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M