සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.2.6. දුතිය ධාරණ සුත්තං

12.2.6. මතක තබා ගැනීම ගැන වදාළ දෙවන දෙසුම

“මහණෙනි, ඔබලා ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයයෝ දෙසන ලද්දාහ’ යි මතකයෙහි රඳවා සිටිව් ද?”

මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“ස්වාමීනී, ‘මම භාග්‍යවතුන් වහන්සේ විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ’ යි මතකයේ රඳවා සිටිමි.”

“භික්ෂුව, ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයයෝ දෙසන ලද්දාහ’ යි ඔබ කොයි අයුරින් මතකයෙහි රඳවා සිටින්නෙහි ද?”

“ස්වාමීනී, මම දුක වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද පළමු ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද පළමු ආර්ය සත්‍යය මේ දුක නොවෙයි. මම පළමු ආර්ය සත්‍යය වූ මේ දුක ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුකක් පළමු ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

ස්වාමීනී, මම දුක හටගැනීම වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙවන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද දෙවන ආර්ය සත්‍යය මේ දුක හටගැනීම නොවෙයි. මම දෙවන ආර්ය සත්‍යය වූ මේ දුක හටගැනීම ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුක් හටගැනීමක් දෙවෙන ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

ස්වාමීනී, මම දුක නිරුද්ධ වීම වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද තුන්වන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද තුන්වන ආර්ය සත්‍යය මේ දුක නිරුද්ධ වීම නොවෙයි. මම තුන්වන ආර්ය සත්‍යය වූ මේ දුක නිරුද්ධ වීම ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුක් නිරුද්ධ වීමක් තුන්වන ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

ස්වාමීනී, මම දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද සිව්වන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද සිව්වන ආර්ය සත්‍යය මේ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව නොවෙයි. මම සිව්වන ආර්ය සත්‍යය වූ මේ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුක් නිරුද්ධ වන ප්‍රතිපදාවක් සිව්වන ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

ස්වාමීනී, මේ අයුරින් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ’ යි මම දරා සිටිමි.”

“සාදු! සාදු! භික්ෂුව. භික්ෂුව, ඔබ ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ දෙසන ලද්දාහ’ යි මැනැවින් දරන්නෙහි ය. භික්ෂුව, දුක වනාහී මා විසින් වදාරණ ලද පළමු ආර්ය සත්‍යය යි. ඒ අයුරින් ම එය සිතෙහි රඳවා ගනුව. භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද පළමු ආර්ය සත්‍යය මේ දුක නොවෙයි. මම පළමු ආර්ය සත්‍යය වූ මේ දුක ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුකක් පළමු ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

භික්ෂුව, දුක හටගැනීම වනාහී මා විසින් වදාරණ ලද දෙවන ආර්ය සත්‍යය යි. ඒ අයුරින් ම එය සිතෙහි රඳවා ගනුව. ….(පෙ)….

භික්ෂුව, දුක නිරුද්ධ වීම වනාහී මා විසින් වදාරණ ලද තුන්වන ආර්ය සත්‍යය යි. ඒ අයුරින් ම එය සිතෙහි රඳවා ගනුව. ….(පෙ)….

භික්ෂුව, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වනාහී මා විසින් වදාරණ ලද සිව්වන ආර්ය සත්‍යය යි. ඒ අයුරින් ම එය සිතෙහි රඳවා ගනුව. භික්ෂුව, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙසේ කියයි නම්, ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙසන ලද සිව්වන ආර්ය සත්‍යය මේ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව නොවෙයි. මම සිව්වන ආර්ය සත්‍යය වූ මේ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කොට අන්‍ය වූ දුක් නිරුද්ධ වන ප්‍රතිපදාවක් සිව්වන ආර්ය සත්‍යය වශයෙන් පණවන්නෙමි’ යි යන මෙකරුණ කිසිදා දකින්නට නොලැබෙයි.

භික්ෂුව, ඔබ මේ අයුරින් ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ’ යි සිතෙහි රඳවා ගනුව.

එහෙයින් භික්ෂුව, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ධාරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M