සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.2.5. ධාරණ සුත්තං

12.2.5. මතක තබා ගැනීම ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබලා ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයයෝ දෙසන ලද්දාහ’ යි මතකයෙහි රඳවා සිටිව් ද?”

මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“ස්වාමීනී, ‘මම භාග්‍යවතුන් වහන්සේ විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ’ යි මතකයේ රඳවා සිටිමි.”

“භික්ෂුව, ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයයෝ දෙසන ලද්දාහ’ යි ඔබ කොයි අයුරින් මතකයෙහි රඳවා සිටින්නෙහි ද?”

“ස්වාමීනී, මම දුක වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද පළමු ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, මම දුක හටගැනීම වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙවන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, මම දුක නිරුද්ධ වීම වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද තුන්වන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, මම දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද සිව්වන ආර්ය සත්‍යය යැයි මතකයෙහි රඳවා සිටිමි. ස්වාමීනී, මේ අයුරින් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ’ යි මම දරා සිටිමි.”

“සාදු! සාදු! භික්ෂුව. භික්ෂුව, ඔබ ‘මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ දෙසන ලද්දාහ’ යි මැනැවින් දරන්නෙහි ය. භික්ෂුව, දුක වනාහී මා විසින් වදාරණ ලද පළමු ආර්ය සත්‍යය යි එසෙයින් දරා ගනුව. භික්ෂුව, දුක හටගැනීම වනාහී මා විසින් වදාරණ ලද දෙවන ආර්ය සත්‍යය යි එසෙයින් දරා ගනුව. භික්ෂුව, දුක නිරුද්ධ වීම වනාහී මා විසින් වදාරණ ලද තුන්වන ආර්ය සත්‍යය යි එසෙයින් දරා ගනුව. භික්ෂුව, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වනාහී මා විසින් වදාරණ ලද සිව්වන ආර්ය සත්‍යය යි එසෙයින් දරා ගනුව. භික්ෂුව, මේ අයුරින් මා විසින් සතරක් වූ ආර්ය සත්‍යයෝ වදාරණ ලද්දාහ යි දරා ගනුව.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ධාරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M