මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය යි. ඒ කවර සතරක් ද යත්; දුක්ඛාර්ය සත්‍යය ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ය.
මහණෙනි, දුක්ඛාර්ය සත්‍යය යනු කුමක් ද? එයට ආධ්‍යාත්මික ආයතන සය යැයි කිව යුත්තේ ය. ඒ කවර සයක් ද යත්; ඇස නම් වූ ආයතනය ය. කන නම් වූ ආයතනය ය. නාසය නම් වූ ආයතනය ය. දිව නම් වූ ආයතනය ය. කය නම් වූ ආයතනය ය. මනස නම් වූ ආයතනය ය. මහණෙනි, මෙය දුක්ඛාර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක් හටගැනීම නම් වූ ආර්ය සත්‍යය කුමක් ද? නැවත භවයක් සකසා දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු, උපනුපන් තන්හි සතුටෙන් පිළිගන්නා වූ, යම් මේ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්; කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය. මහණෙනි, මෙය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක් නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කුමක් ද? ඒ ත්‍රිවිධ තණ්හාවේ ම ඉතුරුවීමක් නොතබා, නොඇල්මෙන් යම් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, ඇල්ම නැති බවක් ඇද්ද, එය යි. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්; නිවැරදි දෘෂ්ටිය ය. නිවැරදි සංකල්පනා ය. නිවැරදි වචන භාවිතය ය. නිවැරදි කායික ක්‍රියා ය. නිවැරදි දිවි පැවැත්ම ය. නිවැරදි වීර්යය ය. නිවැරදි සිහිය ය. නිවැරදි චිත්ත සමාධිය ය. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී චතුරාර්ය සත්‍යය යි.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ආයතන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M