සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.2.7. අවිජ්ජා සුත්තං

12.2.7. අවිද්‍යාව ගැන වදාළ දෙසුම

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, අවිද්‍යාව වනාහී කුමක් ද? කොපමණ කරුණකින් අවිද්‍යාවට පැමිණුනේ වෙයි ද?”

“භික්ෂුව, දුක පිළිබඳ ව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුකෙහි හටගැනීම පිළිබඳ ව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුක් නිරුද්ධ වීම පිළිබඳ ව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුක් නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව පිළිබඳ ව යම් අවබෝධ නොවීමක් ඇද්ද, භික්ෂුව, මෙය අවිද්‍යාව යැයි කියනු ලැබේ. මෙපමණකින් ම අවිද්‍යාවට පැමිණුනේ යැයි ද කියනු ලැබේ.”

එහෙයින් භික්ෂුව, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

අවිජ්ජා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M