සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.2.10. තථ සුත්තං

12.2.10. සත්‍යය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සත්‍යයෝ සතරකි. ඒවා අසත්‍ය බවට පත් නොවෙයි. වෙනස් බවකට පත් නොවෙයි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, ‘මෙය දුක ය’ යන මෙකරුණ සත්‍යයකි; මෙකරුණ අසත්‍ය නොවන්නකි; මෙකරුණ අන් ස්වභාවයකට පත් නොවන්නකි.

‘මෙය දුක හටගැනීම ය’ යන මෙකරුණ සත්‍යයකි; මෙකරුණ අසත්‍ය නොවන්නකි; මෙකරුණ අන් ස්වභාවයකට පත් නොවන්නකි.

‘මෙය දුක නිරුද්ධ වීම ය’ යන මෙකරුණ සත්‍යයකි; මෙකරුණ අසත්‍ය නොවන්නකි; මෙකරුණ අන් ස්වභාවයකට පත් නොවන්නකි.

‘මෙය දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව ය’ යන මෙකරුණ සත්‍යයකි; මෙකරුණ අසත්‍ය නොවන්නකි; මෙකරුණ අන් ස්වභාවයකට පත් නොවන්නකි.

මහණෙනි, මේ වනාහී සතරක් වූ සත්‍යයෝ ය. ඒවා අසත්‍ය බවට පත් නොවෙයි. වෙනස් බවකට පත් නොවෙයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

තථ සූත්‍රය නිමා විය.

දෙවෙනි ධම්මචක්කප්පවත්තන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ධම්මචක්කප්පවත්තන සූත්‍රය, තථාගත සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ආයතන සූත්‍රය, ධාරණ සූත්‍ර දෙක, අවිජ්ජා සූත්‍රය, විජ්ජා සූත්‍රය, සංකාසනා සූත්‍රය සහ තථ සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M