සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.1.5. සමණබ්‍රාහ්මණ සුත්තං

12.1.5. මහණ බමුණන් ගැන වදාළ දෙසුම

මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ය.

මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නෝ ය.

මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරති.

ඒ කවර සතරක් ද යත්; දුක්ඛාර්ය සත්‍යය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යි.

මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ය. ….(පෙ)…. අවබෝධ කරන්නෝ ය. මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරති.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M