සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.1.4. දුතිය කුලපුත්ත සුත්තං

12.1.4. කුලපුත්‍රයා ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, අතීත කාලයෙහි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ය.

මහණෙනි, අනාගත කාලයෙහි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නා වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නෝ ය.

මහණෙනි, මෙකල්හි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරති.

ඒ කවර සතරක් ද යත්; දුක්ඛාර්ය සත්‍යය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යි.

මහණෙනි, අතීත කාලයෙහි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කළාහු ය. මහණෙනි, අනාගත කාලයෙහි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නා වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නෝ ය. මහණෙනි, මෙකල්හි මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ යම්කිසි කුලපුත්‍රයෝ, ඇත්ත ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරති.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය කුලපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M