සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.6.3. ධම්මදින්න සුත්තං

11.6.3. ධම්මදින්න උපාසකට වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එකල්හී ධම්මදින්න උපාසක තෙමේ පන්සියයක් උපාසකවරුන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ධම්මදින්න උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, අපට යමක් බොහෝ කල් හිතසුව පිණිස පවතියි ද, භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කරන සේක්වා!”

“එසේ වී නම් ධම්මදින්නයෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය. ‘තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ, ගැඹුරු අර්ථ ඇති ලොව්තුරු වූ, ශූන්‍යතාවයෙන් යුක්ත වූ යම් ඒ සූත්‍ර දේශනාවෝ වෙත් ද, ඒවා කලින් කල අවබෝධ කොට වසන්නෙමු’ යි ධම්මදින්නයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරිනි.”

“ස්වාමීනී, දරුවන්ගේ කරදර මැද නිදන, කසී සඳුන් ඇඟ ගල්වන, මල් සුවඳ විලවුන් දරණ, රන් රිදී පරිහරණය කරන, අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ, ගැඹුරු අර්ථ ඇති ලොව්තුරු වූ, ශූන්‍යතාවයෙන් යුක්ත වූ යම් ඒ සූත්‍ර දේශනාවෝ වෙත් ද, ඒවා කලින් කල අවබෝධ කොට වාසය කරන්නට පහසු නැත්තේ ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ පංච ශීලය මත පිහිටි ඒ අපට එයට වඩා උසස් වූ ධර්මයක් දේශනා කරන සේක්වා!”

“එසේ වී නම් ධම්මදින්නයෙනි, ඔබ මෙසේ හික්මිය යුත්තේ ය. ‘අපි බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වන්නෙමු. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. නොකැඩුණු සිල්පද ඇති ව ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ සිල්පද ඇති ව, ආර්යකාන්ත සීලයෙන් සමන්විත වන්නෙමු’ යි, ධම්මදින්නයෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතරක් වූ සෝතාපත්ති අංගයෝ වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ අප තුළ ඇත්තාහු ය. ස්වාමීනී, අපි ද, ඒ ධර්මයන් තුළ සිටිනු දකිමු. ස්වාමිනී, අපි වනාහී බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමු. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. නොකැඩුණු සිල්පද ඇති ව ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ සිල්පද ඇති ව, ආර්යකාන්ත සීලයෙන් සමන්විත වෙමු.”

“ධම්මදින්නයෙනි, ඔබට ලාභයකි! ධම්මදින්නයෙනි, ඔබට ඉතා යහපත් ලාභයකි! ධම්මදින්නයෙනි, ඔබ විසින් සෝවාන් ඵලය පවසන ලද්දේ ය!”

සාදු! සාදු!! සාදු!!!

ධම්මදින්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M