සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.6.4. ගිලාන සුත්තං

11.6.4. ගිලන් කෙනාට උපදෙස් දෙන අයුරු ගැන වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සැකසීම කරති. ‘නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවේ වඩින සේකැ’යි කියා ය. මහානාම ශාක්‍ය තෙමේ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු නිමැවුම් කරන බව ත්, නිම වූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකාවෙහි වඩින සේක් ය යන කරුණ ත් ඇසුවේ ය.

එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මා විසින් මෙය අසන ලද්දේ ය. ‘බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු සැකසීම කරත්ලු. භාග්‍යවතුන් වහන්සේ නිමවන ලද සිවුරු ඇති ව, තුන් මාසය ඇවෑමෙන් චාරිකාවෙහි වඩින්නේලු’ යි. ස්වාමීනී, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි නොඅසන ලද්දේ ය. හමුවෙහි නොපිළිගන්නා ලද්දේ ය. එනම්, ‘ප්‍රඥාවන්ත උපාසකයෙකු විසින් රෝගී වූ, කායික දුකට පත්, බොහෝ ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකට අවවාද කළ යුත්තේ ය.”

“මහානාමයෙනි, ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ, කායික දුකට පත්, බොහෝ ගිලන් වූ, ප්‍රඥාවන්ත උපාසක තෙමේ අස්වැසිල්ල ඇති කරදෙන සිව් ධර්මයකින් අස්වැසිය යුත්තේ ය. ඒ මෙසේ ය.

‘ආයුෂ්මත, සැනසෙනු මැනැව. ආයුෂ්මතුන් තුළ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇත්තේ ය. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ආයුෂ්මත, සැනසෙනු මැනැව. ආයුෂ්මතුන් තුළ ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇත්තේ ය. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ධර්මය ඇත්තේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තමන් තුළ දැක්ක යුත්තේ ය’ යනුවෙනි. ආයුෂ්මත, සැනසෙනු මැනැව. ආයුෂ්මතුන් තුළ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇත්තේ ය. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සුපටිපන්න වෙයි ….(පෙ)…. ලොවට අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආයුෂ්මත, සැනසෙනු මැනැව. ආයුෂ්මතුන් තුළ නොකඩ වූ සිල්පද ඇති ….(පෙ)…. සමාධිය පිණිස පවතින සිල්පද ඇති ආර්යකාන්ත සිල් ඇත්තේ ය.’

මහානාමයෙනි, ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ, කායික දුකට පත්, බොහෝ ගිලන් වූ, ප්‍රඥාවන්ත උපාසක තෙමේ අස්වැසිල්ල ඇති කරදෙන මේ සතර ධර්මයෙන් අස්වසා, ඔහුට මෙසේ කිව යුත්තේ ය.

‘ආයුෂ්මතුන්ට මව්පියන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇද්ද?’ යි ඉදින් ඔහු මෙසේ කියයි නම්, ‘මා තුළ මව්පියන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇත්තේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන් වනාහී මරණයට ළං ව සිටියි. මැරෙන ස්වභාවයට අයත් ය. ඉදින් ආයුෂ්මතුන් මව්පියන් කෙරෙහි අපේක්ෂාව කරන්නේ නමුත් මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මතුන් මව්පියන් කෙරෙහි අපේක්ෂා නොකරන්නේ නමුත් මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මතුන් තුළ මව්පියන් කෙරෙහි අපේක්ෂාවක් ඇත්නම්, එය අත්හරින්න.’ ඉදින් ඔහු මෙසේ කියයි නම්, ‘මව්පියන් පිළිබඳ මා තුළ යම් අපේක්ෂාවක් තිබුණේ ද, එය නැතිවී ගියේ ය’ යි. එවිට ඔහු මෙසේ කිව යුත්තේ ය.

‘ආයුෂ්මතුන්ට අඹුදරුවන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇද්ද?’ යි. ඉදින් ඔහු මෙසේ කියයි නම්, ‘මා තුළ අඹුදරුවන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇත්තේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන් වනාහී මරණයට ළං ව සිටියි. මැරෙන ස්වභාවයට අයත් ය. ඉදින් ආයුෂ්මතුන් අඹුදරුවන් කෙරෙහි අපේක්ෂාව කරන්නේ නමුත් මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මතුන් අඹුදරුවන් කෙරෙහි අපේක්ෂා නොකරන්නේ නමුත් මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මතුන් තුළ අඹුදරුවන් කෙරෙහි අපේක්ෂාවක් ඇත්නම්, එය අත්හරින්න.’ ඉදින් ඔහු මෙසේ කියයි නම්, ‘අඹුදරුවන් පිළිබඳ මා තුළ යම් අපේක්ෂාවක් තිබුණේ ද, එය නැතිවී ගියේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය.

‘ආයුෂ්මතුන්ට මානුෂීය වූ පංචකාම ගුණයන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇද්ද?’ යි. ඉදින් ඔහු මෙසේ කියයි නම්, ‘මා තුළ මානුෂීය වූ පංචකාම ගුණයන් පිළිබඳ ව අපේක්ෂාවක් ඇත්තේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, දිව්‍ය කාමයෝ මනුෂ්‍ය කාමයන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ මනුෂ්‍ය කාමයන්ගෙන් සිත ඉවත් කොට චාතුම්මහාරාජික දෙවියන් කෙරෙහි සිත පිහිටුවාගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් මිනිස් කාමයන්ගෙන් සිත ඉවත් කරගන්නා ලදී. චාතුම්මහාරාජික දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, තව්තිසා දෙවියෝ චාතුම්මහාරාජික දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ චාතුම්මහාරාජික දෙව්ලොවින් සිත ඉවත් කොට තව්තිසා දෙව්ලොවෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් චාතුම්මහාරාජික දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. තව්තිසා දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, යාම දෙවියෝ තව්තිසා දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ තව්තිසා දෙව්ලොවින් සිත ඉවත් කොට යාම දෙව්ලොවෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් තව්තිසා දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. යාම දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, තුසිත දෙවියෝ යාම දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ යාම දෙව්ලොවින් සිත ඉවත් කොට තුසිත දෙව්ලොවෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් යාම දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. තුසිත දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, නිම්මාණරතී දෙවියෝ තුසිත දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ තුසිත දෙව්ලොවින් සිත ඉවත් කොට නිම්මාණරතී දෙව්ලොවෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් තුසිත දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. නිම්මාණරතී දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, පරනිම්මිතවසවත්ති දෙවියෝ නිම්මාණරතී දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ නිම්මාණරතී දෙව්ලොවින් සිත ඉවත් කොට පරනිම්මිත වසවත්ති දෙව්ලොවෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් නිම්මාණරතී දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. පරනිම්මිතවසවත්ති දෙවියන් තුළ සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, බ්‍රහ්මලෝකය පරනිම්මිතවසවත්ති දෙවියන්ට වඩා අතිශයින් මනහර ද වෙති. ප්‍රණීතතර ද වෙති. ආයුෂ්මත් තෙමේ පරනිම්මිත වසවත්ති දෙව්ලොවින් සිත ඉවත් කොට බ්‍රහ්ම ලෝකයෙහි සිත පිහිටුවා ගන්නෙහි නම් මැනැවි’ යි.

ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් පරනිම්මිත වසවත්ති දෙව්ලොවින් සිත ඉවත් කරගන්නා ලදී. බ්‍රහ්මලෝකයෙහි සිත පිහිටුවාගන්නා ලද්දේ ය’ යි. එවිට ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, බ්‍රහ්මලෝකය ද අනිත්‍යය ය. අස්ථිරය ය. පංච උපාදානස්කන්ධයට අයත් ය. ආයුෂ්මතුන් බ්‍රහ්මලෝකයෙන් සිත ඉවත් කොට පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීම කෙරෙහි සිත යොමු කරන්නෙහි නම් මැනැවි’ යි. ඉදින් ඔහු මෙසේ කියන්නේ නම්, ‘මා විසින් සිත බ්‍රහ්ම ලෝකයෙන් ඉවත් කරගන්නා ලද්දේ ය. සක්කාය නිරෝධයෙහි සිත යොමු කරන ලද්දේ ය’ යි.

මහානාමයෙනි, මෙසේ පංච උපාදානස්කන්ධයෙන් මිදුණු සිත් ඇති උපාසකගේ විමුක්තිය සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති භික්ෂුවගේ විමුක්තිය හා සසඳා බලද්දී, යම් මේ විමුක්තියෙන් විමුක්තිය අතර කිසි වෙනසක් නොකියමි.

සාදු! සාදු!! සාදු!!!

ගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M