එසමයෙහි එක්තරා භික්ෂුවක් සැවැත් නුවර වස් වැස කිසියම් කරුණක් වෙනුවෙන් කපිලවස්තුවට පැමිණියේ වෙයි. කපිලවස්තුවාසී ශාක්‍යයෝ ‘සැවැත් නුවර වස් වැසූ එක්තරා භික්ෂුවක් කපිලවස්තුවට පැමිණියේ ලු’ යි ඇසූහ. ඉක්බිති කපිලවස්තු වැසි ශාක්‍යයෝ ඒ භික්ෂුව කරා එළැඹියහ. එළැඹ ඒ භික්ෂුවට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් කපිලවස්තුවැසි ශාක්‍යයෝ ඒ භික්ෂුවට මෙය පැවසූහ.
“කිම? ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක් ද? කාය බලයෙන් යුතු සේක් ද?”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක. කාය බලයෙන් යුතු සේක.”
“කිම? ස්වාමීනී, සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා නීරෝග සේක් ද? කාය බලයෙන් යුතු සේක් ද?”
“ඇවැත්නි, සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ද නීරෝග සේක. කාය බලයෙන් යුතු සේක.”
“කිම? ස්වාමීනි, භික්ෂු සංඝ තෙමේ ත් නීරෝග වෙයි ද? කාය බල ඇත්තේ වෙයි ද?”
“ඇවැත්නි, භික්ෂු සංඝ තෙමේ ත් නීරෝග වෙයි. කාය බල ඇත්තේ ද වෙයි.”
“ස්වාමීනී, මේ වස් වැසූ කාලය තුළ දී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලද, කිසියම් කරුණක් ඇත්තේ ද?”
“ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලද මෙකරුණ ඇත්තේ ය.
එනම්, ‘මහණෙනි, යම් ඒ භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත්, මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරත් නම්, ඒ භික්ෂූහු අල්ප වෙති. නමුත් යම් භික්ෂූහු පංච ඕරම්භාගිය සංයෝජනයන් ගෙවා දැමීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද එලොවින් මෙලොවට නැවත හැරී නොඑන සුළු ව එහිම පිරිනිවන්පාන සුළු වූවාහු වෙත් නම්, ඒ භික්ෂූහු ම ඉතා බොහෝ ය.
ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පිළිගන්නා ලද තව කරුණකුත් ඇත්තේ ය.
මහණෙනි, යම් භික්ෂූහු පංච ඕරම්භාගිය සංයෝජනයන් ගෙවා දැමීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද එලොවින් මෙලොවට නැවත හැරී නොඑන සුළු ව එහිම පිරිනිවන්පාන සුළු වූවාහු වෙත් නම්, ඒ භික්ෂූහු අල්පයකි. නමුත් යම් භික්ෂූහු සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් රාග, ද්වේෂ, මෝහයන්ගේ තුනී වීමෙන් සකදාගාමී වෙත් ද, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් කෙළවර කරන්නාහු නම්, ඒ භික්ෂූහු ම ඉතා බොහෝ ය.
ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පිළිගන්නා ලද තව කරුණකුත් ඇත්තේ ය.
මහණෙනි, යම් භික්ෂූහු සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් රාග, ද්වේෂ, මෝහයන්ගේ තුනී වීමෙන් සකදාගාමී වෙත් ද, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් කෙළවර කරන්නාහු නම්, ඒ භික්ෂූහු අල්පයකි. නමුත් යම් භික්ෂූහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සතර අපායෙන් මිදී නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝතාපන්න වූවාහු වෙත් නම්, ඒ භික්ෂූහු ම ඉතා බොහෝ ය’ යි.
සාදු! සාදු!! සාදු!!!
වස්සංවුත්ථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M