එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන, කාලිගෝධා ශාක්‍ය දියණියගේ නිවස වෙත වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හී කාලිගෝධා ශාක්‍ය දියණිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් කාලිගෝධා ශාක්‍ය දියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෝධාවෙනි, සතර ධර්මයකින් සමන්විත වූ ආර්යශ්‍රාවිකා තොමෝ සිව් අපායෙන් අත්මිදී, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති ව, සෝවාන් වූවා වෙයි. ඒ කවර සතරකින් ද යත්;
ගෝධාවෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවිකා තොමෝ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූවා වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. පහ ව ගිය මසුරුමල ඇති සිතින් ගිහි ගෙදර වසන්නී වෙයි. එනම්, දන් දීම පිණිස වෙන්කළ දේ ඇත්තී, සෝදා ගත් අත් ඇත්තී, දන් දීමෙහි ඇලුණී, අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණී වෙයි.
ගෝධාවෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ ආර්යශ්‍රාවිකා තොමෝ සිව් අපායෙන් අත්මිදී, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති ව, සෝවාන් වූවා වෙයි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතරක් වූ සෝතාපත්ති අංගයෝ වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ මා තුළ ඇත්තාහු ය. මම් ද, ඒ ධර්මයන් තුළ සිටිනු දකිමි. ස්වාමිනී, මම් වනාහී බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූවා වෙමි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. දීමට සුදුසු වූ යම් කිසිවක් තම නිවසෙහි ඇද්ද, ඒ සියල්ල කලණදහම් ඇති සිල්වතුන් විෂයෙහි නොබෙදා ඇද්ද!”
“ගෝධාවෙනි, ඔබට ලාභයකි! ගෝධාවෙනි, ඔබට මනා වූ ලාභයකි! ගෝධාවෙනි, ඔබ විසින් සෝවාන් ඵලය පවසන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
කාලිගෝධා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M