එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.
“ස්වාමීනී, යම් ම ආර්ය ශ්‍රාවකයෙකු හට සතරක් වූ සෝතාපත්ති අංගයන් සියල්ලෙන් සියල්ල ම, සියළු අයුරින් සියල්ල ම නැද්ද, ස්වාමීනී, මෙසේ ඒ ආර්යශ්‍රාවක තෙමේ ප්‍රමාදී ව වසන්නේ ද?”
“නන්දියෙනි, යමෙකු හට සතරක් වූ සෝතාපත්ති අංගයන් සියල්ලෙන් සියල්ල ම, සියළු අයුරින් සියල්ල ම නැද්ද, ඔහු බුදු සසුනෙන් බැහැර වූ පෘථග්ජන පක්ෂයේ සිටින කෙනෙකි යි මම කියමි.
එනමුත් නන්දියෙනි, යම් අයුරකින් ආර්ය ශ්‍රාවක තෙමේ ප්‍රමාදී ව වසන්නේ ත් වෙයි නම්, අප්‍රමාදී ව වසන්නේ ත් වෙයි නම්, එය අසව.
නන්දියෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ කෙසේ ප්‍රමාදී ව වසන්නේ වෙයි ද? නන්දියෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ඔහු බුදුරජුන් කෙරෙහි වූ ඒ නොසෙල්වෙන ප්‍රසාදයෙන් සතුටු වූයේ වෙයි. තවදුරට ත් දිවා කාලයෙහි හුදෙකලාවෙන් සිටීම පිණිස ත්, රාත්‍රී කාලයෙහි භාවනා කිරීම පිණිස ත් වෑයම් නොකරයි. මෙසේ ප්‍රමාදයෙන් යුක්ත ව වාසය කරන ඔහු තුළ ප්‍රමුදිත බව ඇති නොවෙයි. ප්‍රමුදිත බව නැති කල්හී ප්‍රීතිය ඇති නොවෙයි. ප්‍රීතිය නැති කල්හී සැහැල්ලු බව ඇති නොවෙයි. සැහැල්ලු බව නැති කල්හී දුක සේ වාසය කරයි. දුකින් සිටින්නාගේ සිත සමාධිමත් නොවෙයි. සිත අසමාහිත කල්හී ධර්මයෝ පහළ නොවෙති. ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදයෙන් වාසය කරන්නේ ම යන සංඛ්‍යාවයට යයි.
තව ද නන්දියෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. නොකැඩුණු ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු ඒ ආර්යකාන්ත සීලයෙන් සතුටු වූයේ වෙයි. තවදුරට ත් දිවා කාලයෙහි හුදෙකලාවෙන් සිටීම පිණිස ත්, රාත්‍රී කාලයෙහි භාවනා කිරීම පිණිස ත් වෑයම් නොකරයි. මෙසේ ප්‍රමාදයෙන් යුක්ත ව වාසය කරන ඔහු තුළ ප්‍රමුදිත බව ඇති නොවෙයි. ප්‍රමුදිත බව නැති කල්හී ප්‍රීතිය ඇති නොවෙයි. ප්‍රීතිය නැති කල්හී සැහැල්ලු බව ඇති නොවෙයි. සැහැල්ලු බව නැති කල්හී දුක සේ වාසය කරයි. දුකින් සිටින්නාගේ සිත සමාධිමත් නොවෙයි. සිත අසමාහිත කල්හී ධර්මයෝ පහළ නොවෙති. ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදයෙන් වාසය කරන්නේ ම යන සංඛ්‍යාවයට යයි. නන්දියෙනි, මෙසේ ආර්යශ්‍රාවක තෙමේ ප්‍රමාදී ව වාසය කරන්නේ වෙයි.
නන්දියෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ කෙසේ අප්‍රමාදී ව වසන්නේ වෙයි ද? නන්දියෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ඔහු බුදුරජුන් කෙරෙහි වූ ඒ නොසෙල්වෙන ප්‍රසාදයෙන් සතුටු නොවූයේ වෙයි. තවදුරට ත් දිවා කාලයෙහි හුදෙකලාවෙන් සිටීම පිණිස ත්, රාත්‍රී කාලයෙහි භාවනා කිරීම පිණිස ත් වෑයම් කරයි. මෙසේ අප්‍රමාදයෙන් යුක්ත ව වාසය කරන ඔහු තුළ ප්‍රමුදිත බව ඇති වෙයි. ප්‍රමුදිත බව ඇතිවූවහුට ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීති සිත් ඇත්තාගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇති තැනැත්තා සැපයක් විඳියි. සැපෙන් සිටින්නාගේ සිත සමාධිමත් වෙයි. සිත සමාහිත කල්හී ධර්මයෝ පහළ වෙති. ධර්මයන්ගේ පහළ වීමෙන් අප්‍රමාදයෙන් වාසය කරන්නේ ම යන සංඛ්‍යාවයට යයි.
තව ද නන්දියෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. නොකැඩුණු ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු ඒ ආර්යකාන්ත සීලයෙන් සතුටු නොවූයේ වෙයි. තවදුරට ත් දිවා කාලයෙහි හුදෙකලාවෙන් සිටීම පිණිස ත්, රාත්‍රී කාලයෙහි භාවනා කිරීම පිණිස ත් වෑයම් කරයි. මෙසේ අප්‍රමාදයෙන් යුක්ත ව වාසය කරන ඔහු තුළ ප්‍රමුදිත බව ඇති වෙයි. ප්‍රමුදිත බව ඇතිවූවහුට ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීති සිත් ඇත්තාගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇති තැනැත්තා සැපයක් විඳියි. සැපෙන් සිටින්නාගේ සිත සමාධිමත් වෙයි. සිත සමාහිත කල්හී ධර්මයෝ පහළ වෙති. ධර්මයන්ගේ පහළ වීමෙන් අප්‍රමාදයෙන් වාසය කරන්නේ ම යන සංඛ්‍යාවයට යයි. නන්දියෙනි, මෙසේ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාදී ව වසන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
නන්දිය සූත්‍රය නිමා විය.
සිව්වෙනි පුඤ්ඤාභිසන්ද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අභිසන්ද සූත්‍ර තුන, දේවපද සූත්‍ර දෙක, සභාගත සූත්‍රය, මහානාම සූත්‍රය, වස්ස සූත්‍රය, කාලිගෝධා සූත්‍රය සහ නන්දිය සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M