සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.4.7. මහානාම සුත්තං

11.4.7. මහානාම ශාක්‍ය රජුට වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, උපාසකයෙකු වන්නේ කොපමණ කරුණු වලින් ද?”

“මහානාමයෙනි, යම් කලෙක වනාහී බුදුරජුන් සරණ ගියේ වෙයි නම්, ධර්මය සරණ ගියේ වෙයි නම්, ශ්‍රාවක සංඝයා සරණ ගියේ වෙයි නම්, මහානාමයෙනි, මෙපමණකින් උපාසකයෙක් වෙයි.”

“ස්වාමීනී, උපාසකයෙක් සීල සම්පන්න වන්නේ කොපමණකින් ද?”

“මහානාමයෙනි, යම් කලෙක වනාහී උපාසක තෙමේ සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි නම්, සොරකමින් වැළකුණේ වෙයි නම්, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි නම්, බොරු කීමෙන් වැළකුණේ වෙයි නම්, මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි නම්, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ සීලසම්පන්න වෙයි.”

“ස්වාමීනී, උපාසකයෙක් ශ්‍රද්ධා සම්පන්න වන්නේ කොපමණකින් ද?”

“මහානාමයෙනි, මෙහිලා උපාසක තෙමේ ශ්‍රද්ධාවන්ත වෙයි. එනම්, තථාගතයන්ගේ අවබෝධය අදහා ගනියි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’යි. මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ ශ්‍රද්ධා සම්පන්න වෙයි.”

“ස්වාමීනී, උපාසකයෙක් ත්‍යාග සම්පන්න වන්නේ කොපමණකින් ද?”

“මහානාමයෙනි, මෙහිලා උපාසක තෙමේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් ගිහි ගෙදර වසන්නේ වෙයි. එනම්, දන් දීම පිණිස වෙන්කළ දේ ඇතිව, සෝදා ගත් අත් ඇති ව, දන් දීමෙහි ඇලුණේ, අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු වූයේ, දන් බෙදීමෙහි ඇලුණේ වෙයි. මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ ත්‍යාග සම්පන්න වෙයි.”

“ස්වාමීනී, උපාසකයෙක් ප්‍රඥා සම්පන්න වන්නේ කොපමණකින් ද?”

“මහානාමයෙනි, මෙහිලා උපාසක තෙමේ ප්‍රඥාවන්ත වෙයි. ආර්ය වූ කලකිරීමට නිසි තියුණු අවබෝධය ඇතිකර දෙන, මැනැවින් දුක් ක්ෂය වී යෑමට හේතුවන හටගැනීම නැතිවීම දකිනා ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

මහානාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M