මහණෙනි, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, මේ දෙවියන්ගේ දෙව් පියවර සතරක් ඇත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ඔහු මෙසේ නුවණින් සළකා බලයි. ‘දෙවියන්ගේ දෙව් පියවර කුමක් ද?’ යි. එවිට ඔහු මෙසේ දැනගනියි. ‘මම මෙකල්හි දෙවියන් දුක් නැති බව පරම කොට ඇත්තවුන් යැයි අසමි. එසේ නම්, මම ත් තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසිවෙකුට පීඩාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දෙව්පියවර ධර්මයෙන් යුක්ත ව වාසය කරමි.’ මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ පළමුවෙනි දෙව් පියවර යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. ඔහු මෙසේ නුවණින් සළකා බලයි. ‘දෙවියන්ගේ දෙව් පියවර කුමක් ද?’ යි. එවිට ඔහු මෙසේ දැනගනියි. ‘මම මෙකල්හි දෙවියන් දුක් නැති බව පරම කොට ඇත්තවුන් යැයි අසමි. එසේ නම්, මම ත් තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසිවෙකුට පීඩාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දෙව්පියවර ධර්මයෙන් යුක්ත ව වාසය කරමි.’ මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ සිව්වෙනි දෙව් පියවර යි.
මහණෙනි, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, දෙවියන්ගේ මේ දෙව් පියවර සතර ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය දේවපද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M