මහණෙනි, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, මේ දෙවියන්ගේ දෙව් පියවර සතරක් ඇත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ පළමුවෙනි දෙව් පියවර යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ධර්මය ඇත්තේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ යනුවෙනි. මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ දෙවෙනි දෙව් පියවර යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.’ යනුවෙනි. මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ තුන්වෙනි දෙව් පියවර යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. මෙය අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, ඇති දෙවියන්ගේ සිව්වෙනි දෙව් පියවර යි.
මහණෙනි, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස, නොබබලන සත්වයන් හට බබලනු පිණිස, දෙවියන්ගේ මේ දෙව් පියවර සතර ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දේවපද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M